
බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන පෞද්ගලික ආයතනයක සේවිකාවන් මුළා කර රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ වංචා කළ 42 හැවිරිදි කාන්තාවක් බියගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මංගල උත්සවයකට සහභාගී වන බව පවසමින් තම සේවා සගයන්ගෙන් මෙම රන් ආභරණ ඉල්ලාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය බියගම ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර, ඇය මෙලෙස ලබාගත් රන් මාල, රන් මුදු, රන් වළලු ඇතුළු පලඳනා කඩුවෙල සහ බියගම - බණ්ඩාරවත්ත ප්‍රදේශවල පිහිටි උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර තිබේ. එලෙස වංචනික ලෙස ලබාගත් මුදල් ඇය විසින් ඉදි කරමින් පවතින නිවෙසට අවශ්‍ය විවිධ බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා වැය කර ඇති බවද අනාවරණය වී ඇත.
මෙම වංචාව සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ ආයතනයේ සේවිකාවන් පස් දෙනෙකු විසින් පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබුණි.
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණ විතාන මහතාගේ උපදෙස් පරිදි, විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත රාජකරුණා, උප පොලිස් පරීක්ෂක රෝහණ, පොලිස් සැරයන් ඩග්ලස් (48947) සහ කාන්තා පොලිස් කොස්තාපල් කෞශල්‍යා (12937) යන නිලධාරීහු මෙම වැටලීම සහ ඉදිරි විමර්ශන මෙහෙයවූහ.
