
පාසල් වියේ පසුවන දාහතර හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ඔහුගේ පියාගේ මිතුරෙකු එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අනුරුද්ධ සමරවීර මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි ලියනආරච්චි කංකානම්ගේ ඉඳුනිල් ප්‍රියදර්ශන නමැති තැනැත්තෙකි.
අවුරුදු 14 යි මාසයක් වයසැති මෙම බාලවයස්කාර පාසල් දරුවා සිය නිවස ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණය වෙත ගොස් ඇත්තේ සරුංගල් යැවීමේ නිරත වීමටයි. එහිදී සැකකාර පියාගේ මිතුරා විසින් අදාළ දරුවා අතවරයට ලක්කර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධියට මුහුණ පෑ දරුවා ලබාදුන් ප්‍රකාශය පදනම් කරගනිමින්, ඌරුබොක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා දේවිකා මහත්මිය විසින් පරීක්ෂණ මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් ධනුෂ්ක (78230) නිලධාරියා විසින් පසුගිය 24 වැනිදා සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන පවත්වයි.
