පොදු ප්‍රවාහන සේවාවන්හි නිරත වන රියැදුරන් සහ සහයකයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සක්‍රිය හා විධිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක් පරිත්‍යාග කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්මට සමගාමීව, මගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරමින් වඩාත් ගුණාත්මක මෙන්ම ආරක්ෂිත ප්‍රවාහන සේවයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ වැඩසටහනකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ජංගම රසායනාගාර බස් රථයට හිමි නිල ගොනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලීෆර්ඩ් පෙරේරා මහතා වෙත භාර දෙන ලදී. මත්ද්‍රව්‍යවලින් තොර, වගකීම්සහගත රියැදුරු මෙන්ම සහයක පිරිසක් පොදු ප්‍රවාහන සේවයට එක් කිරීම තුළින් මාර්ග අනතුරු අවම කරගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අභිප්‍රාය වේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙරට සිදුවන ඇතැම් මාර්ග අනතුරු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ඊට සම්බන්ධ රියැදුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය මඟින් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කෙරුණු ඉල්ලීමකට අනුව මෙම ජංගම රසායනාගාර බස් රථය ලබා දීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටද පරිත්‍යාගයක් ලෙස ලැබී තිබුණු මෙම බස් රථය පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක විවිධ පරීක්ෂණ කටයුතු සඳහා යොදාගෙන තිබූ බවත්, වර්තමානය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රසායනාගාර පහසුකම් පුළුල් වී ඇති බැවින් මහජන ජීවිත ආරක්ෂාවට ඍජුවම දායක වන මෙවැනි අත්‍යවශ්‍ය කාර්යයකට මෙය පැවරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම නිල භාරදීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, හර්ෂණී සිරිනාම සහ ප්‍රවාහන අධ්‍යක්ෂ මුදිත විමලසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.