තායිලන්තයේ පාසලක සිදුවූ ඛේදවාචකයකින් පුද්ගලයන් හය දෙනෙකු ඝාතනය කරමින් සියදිවි හානිකරගත් 14 හැවිරිදි පාසල් සිසුවෙකු, ඊට පෙර තමන්ව ඇති දැඩි කළ සිය ආච්චි සහ සීයා ද වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට පොලිසිය පවසයි. බැංකොක් නුවරට උතුරින් පිහිටි නිවසේදී සිකුරාදා (අගෝස්තු 7) මෙම ඝාතනයන් සිදු කර ඇති අතර, ඒ සඳහා ඔහු සිය සීයාට අයත් අත් තුවක්කුවක් භාවිතා කර ඇත. ඉන් අනතුරුව ඔහු සිය පාසල වන Nonthaburi ප්‍රාන්තයේ Bang Kruai දිස්ත්‍රික්කයේ පිහිටි Debsirin Nonthaburi ද්විතීයික පාසල වෙත ගොස් මෙම වෙඩි තැබීම සිදුකර, අවසානයේ තමාටද වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිකුරාදා පාසලේදී සිදුවූ වෙඩි තැබීමෙන් ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය තහවුරු කළේය. තවද, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක පසුගිය සෙනසුරාදා මියගොස් තිබේ. මෙම සිදුවීමත් සමඟ පාසල තුළ මියගිය මුළු සංඛ්‍යාව හය දෙනෙකු දක්වා ඉහළ ගියේය. මෙම සිදුවීමෙන් පසු පිලිපීන තානාපති කාර්යාලය නිවේදනය කළේ අදාළ පාසලේ සේවය කරන පිලිපීන ජාතික ගුරුවරුන් අට දෙනෙකු කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව සිටින බවත්, ඔවුන් මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්ය.
පරීක්ෂණ පවත්වන නිලධාරීන් සාක්ෂිකරුවන් 17 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිසුවාගේ පරිගණකය සහ ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කරමින් සිටී. නියෝජ්‍ය පොලිස්පති Atthapol Anusit මහතා ප්‍රකාශ කළේ සිසුවා සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩකාරී වීඩියෝ නැරඹීමට හුරුවී සිට ඇති බවත්, ඔහු වසරක හෝ දෙකක පමණ කාලයක සිට ගිනි අවි කෙරෙහි උනන්දුවක් දක්වා ඇති බවත්ය. ඔහු ගිනි අවි භාවිතා කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ඉගෙන ගෙන ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත. තවද, පසුගිය වසරේදී මෙම සිසුවා පාසලට BB වර්ගයේ තුවක්කුවක් ගෙනවිත් ඇති අතර එය ගුරුවරයෙකු විසින් රාජසන්තක කර තිබේ.
වයස අවුරුදු දෙකේදී දෙමාපියන් වෙන්වීමෙන් පසු මෙම දරුවා සිය ආච්චි සහ සීයා සමඟ ජීවත් වී ඇත. තායිලන්ත අග්‍රාමාත්‍ය Anutin Charnvirakul මහතා සඳහන් කළේ සිසුවා තම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයකින් පෙළී ඇති බවයි. ඝාතනයට ලක්වූ ඔහුගේ මිත්තණිය ද හිටපු ගුරුවරියක වන අතර ඇය ඔහුගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔහුට ඉතා දැඩිව අවවාද කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත්, තම පුතා කළ අපරාධය සම්බන්ධයෙන් සමාජයෙන් සමාව අයදින බව සිසුවාගේ පියා සිකුරාදා ප්‍රකාශ කර තිබේ.
තායිලන්තය යනු කලාපයේ ඉහළම ගිනි අවි හිමිකාරිත්වයක් ඇති රටවල් වලින් එකකි. එරට තුළ ඇස්තමේන්තුගත ගිනි අවි මිලියන 10ක් පමණ සංසරණය වන බව පැවසෙන අතර, එය සෑම පුද්ගලයන් හත් දෙනෙකුටම එක් ගිනි අවියක් බැගින් වන අනුපාතයකි. මීට පෙරද මෙවැනි සමූහ වෙඩි තැබීම් සිදුවී ඇති අතර, දැඩි ගිනි අවි නීති හඳුන්වා දෙන බවට බලධාරීන් පොරොන්දු වී තිබුණද, යළි යළිත් සිදුවන මෙවැනි වෙඩි තැබීම් වළක්වා ගැනීමට එම පොරොන්දු ප්‍රමාණවත් වී නොමැත.