අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයා රත්න මහතාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල් තලාවක් මත තිබියදී ඊයේ (24) උදෑසන සොයාගෙන තිබේ. මහනුවර පදිංචිව සිටි 49 හැවිරිදි දෙදරු පියෙකු වන ඒ මහතා ගිනිගත්හේන ප්‍රදේශයේ මුල්ගම්කාරයෙකි.
පසුගිය 23 වනදා උදෑසන බදුල්ල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයේ කටයුතුවල නිරත වීමෙන් අනතුරුව වෛද්‍යවරයා අතුරුදන්ව ඇති අතර, එදින පෙcheck-in 10.00 ට පමණ සිට ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත වී තිබිණි. මේ පිළිබඳව සිදුකළ සෙවීම්වලදී ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ඔහුගේ මෝටර් රථය මහියංගණය දෙසට ධාවනය කර ඇති බව නිරීක්ෂණය වූ අතර, එම රථය එදින රාත්‍රියේ බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේ අතහැර දමා තිබියදී මහියංගණ පොලීසිය මඟින් සොයාගන්නා ලදී.
වන අලින් ගැවසෙන එම ප්‍රදේශයේ පොලීසිය, යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, මෝටර් රථය තිබූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් වූ රක්ෂිතයේ ගල් තලාවක් මත උඩුබැලි අතට වැටී තිබූ වෛද්‍යවරයාගේ සිරුර හමු විය. සිරුරෙන් රුධිරය වහනය වී තිබූ අතර, ඒ අසල තිබී ඔහු භාවිත කළ බවට සැකකෙරෙන ඖෂධ පෙති රැසක් ද හමු වී තිබේ.
මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට පොලීසිය සැක කරන අතර, ඔහු යම් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත. මළ සිරුර හඳුනාගැනීමට වෛද්‍යවරයාගේ බිරිය හා පවුලේ අය පැමිණ තිබුණ අතර ඔවුන් පැවසූ පරිදි ගතවූ කාලයේ ඔහු පුද්ගලික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මානසික පීඩාවකින් කල් ගත කර ඇත. දෙදරු පියෙකු වන මෙම වෛද්‍යවරයා කලෙක සිට ආතතිය හා මානසික පීඩනය වෙනුවෙන් ඖෂධ ලබාගනිමින් සිටි අයෙකුද වන අතර ඔහුගේ සිරුර අසළ එයට සම්බන්ධ ඖෂධ පෙති වර්ග තුනක්ද තිබී හමුව ඇත. ඔහු අධිමාත්‍රාවකින් ඖෂධ ගෙන දිවිනසාගෙන ඇතිය යන සැකය මතුව තිබේ.
මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්න මහතා ඊයේ පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ අතර, සිරුර මහියංගණය මූලික රෝහල වෙත ගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළේය.
කෑගල්ල ඇතුළු රෝහල් කිහිපයක සේවය කර ඇති දක්ෂ හා නිහතමානී වෛද්‍යවරයෙකු ලෙස ප්‍රකට ප්‍රභාත් දයා රත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
