
දිවයින පුරා අද (9) පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අගෝස්තු 10 වැනිදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු බාධාවකින් තොරව සාර්ථකව පවත්වා නිමකිරීම සඳහා සියලු සංවිධාන කටයුතු යොදා තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අයහපත් කාලගුණයෙන් සිදුවිය හැකි බලපෑම් කළමනාකරණය කරගැනීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.
එමෙන්ම යම් හෙයකින් ගංවතුර තත්ත්වයක් වැනි ආපදාවක් මතුවුවහොත් භාවිත කිරීම සඳහා බෝට්ටු හා ආපදා ප්‍රතිචාර කණ්ඩායම්ද සූදානම් කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුළ ඒ වෙනුවෙන්ම විශේෂ ඒකකයක්ද ක්‍රියාත්මක වේ.දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් 294,089 දෙනෙකු මුහුණ දෙන අතර, ඉන් 220,366 දෙනෙකු සිංහල මාධ්‍යයෙන්ද 73,723 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන්ද ලියාපදිංචි වී සිටිති. මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන අතර එය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැවැත්වේ. ඉන්පසුව ලැබෙන කෙටි විවේකයෙන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමිවේ. විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග අංක අදාළ විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙන අතර, දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුළු වීමට අවසර හිමි නොවේ.
අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. මීට පාසල් අයදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළත් වේ. පාසල් සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ටද තැපැල් කර යවා ඇත. ප්‍රවේශ පත්‍රය අස්ථානගත වූ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එය නැවත බාගත කරගැනීමේ පහසුකම පවතී.
විභාග ශාලාවට ඇතුළු වීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය කර තිබේ. අපේක්ෂකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ ගමන් බලපත්‍රය පමණක් පිළිගැනෙන අතර, ජාතික හැඳුනුම්පත නොමැති අය සඳහා තැපැල් හැඳුනුම්පත් ඡායාරූප යොදාගනිමින් සකසා ගන්නා තාවකාලික අනන්‍යතා පත්‍රය පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවාද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවාද සහතික කරගත යුතුය. පසුගිය වසරවල විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බැවින් සියලුම විභාග අපේක්ෂකයින් විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවට බලධාරීන් අවධාරණය කරයි.
විභාග දෙපාර්තමේන්තු උපදෙස් අනුව සියලුම අයදුම්කරුවන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා විය යුතු අතර, ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා තමන්ගේ විභාග අංකය නිවැරදිව සටහන් කර පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතුය. ජංගම දුරකථන, ස්මාර්ට් අත් ඔරලෝසු, බ්ලූටූත් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ සටහන් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ. එමෙන්ම විභාගවලට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර විභාග නිමවන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමද තහනම් කර ඇත.