'එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු' යන තේමාව පෙරදැරි කරගනිමින්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන "අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහන ඊයේ (8) ආරම්භ විය. පරිසර සුරක්ෂිතතාව සහ ප්‍රජා සහජීවනය උදෙසා සංවිධානය කර ඇති මෙම දැවැන්ත පුරවැසි මෙහෙයුම, දිවයිනේ පිහිටි සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
මෙම ජාතික වැඩසටහන Clean Sri Lanka ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලබයි. දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි ප්‍රධාන සහ ප්‍රාදේශීය මට්ටමේ පවිත්‍රතා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රජා ශක්ති කමිටුවල සක්‍රිය දායකත්වයෙන් මේවා මෙහෙයවනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අත්තම හෙවත් ශ්‍රම හුවමාරු සංකල්පය තරුණ පරපුර අතර නැවත ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ඊට අමතරව, මහා මාර්ග සහ වෙළෙඳපොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදුව පවත්වා ගනිමින් සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමත්, ඌන උපයෝජිත පොදු පහසුකම් සංවර්ධනය කරමින් පොදු දේපළ සුරැකීම කෙරෙහි ජනතාව තුළ ධනාත්මක ආකල්ප ගොඩනැගීමත් මෙයින් අපේක්ෂා කෙරේ.