updates-on-what-happened-in-mahara-jail

මහර බන්ධනාගාරයේ පිරිසක් අතර ඉකුත් සිකුරාදා පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ උණුසුම්කාරී තත්ත්වය සහ පසුව හටගත් නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම සිදුවීමේදී එල්ල වූ ගැටුම් හමුවේ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත.

තුවාල ලැබූ රැඳවියන් හත්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.




මෙම නොසන්සුන්තාව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර මෙන්ම රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ ආරවුලක් මුල් කරගනිමින් හටගෙන ඇත. එහිදී ඇතැම් රැඳවියන් බන්ධනාගාරයේ වහලක් මතට නැග නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාවයේ නිරත වී ඇති අතර, තවත් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවට සහ තාප්පයට පහර දී හානි සිදු කර තිබේ. එමෙන්ම අලුතින් ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිශ්‍රයේ තහඩු ආවරණයකින් වෙන් කර තිබූ තාප්ප කොටසට පහර දී එය කඩාගෙන පලායාමට ද ඇතැම් රැඳවියන් උත්සාහ කර ඇත. මෙකී පාලනය නොකළ හැසිරීම් අතරතුර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය, විනය අංශය, මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල සහ කාර්යාලය මෙන්ම බන්ධනාගාර රෝහල ඇතුළු දේපළ රැසකට රැඳවියන් විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ නාවික හමුදාව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී තිබේ. බන්ධනාගාරයේ එක් කෙළවරකින් රැඳවියන් පලායාමේ අවදානමක් මත නාවික හමුදාපිරිස් කැඳවා ඇති අතර, එහි සිටි රැඳවියන් ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලීසිය විසින් බන්ධනාගාරයෙන් පිටත සිට කඳුළු ගෑස් ප්‍රහාර තුනක් එල්ල කර ඇත. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෙල් 412 හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදාගනිමින් ගුවනින් නිරීක්ෂණ මෙහෙයුම් දියත් කර තිබේ. බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ පරිශ්‍රය පිටත රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මාර්ග බාධක කඩාගෙන ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පිරිස පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර එහිදී ද ඇතැම් පිරිස් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇත.




මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා රාගම පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් බලාත්මකව පවතී. ඒ අනුව 246 කැන්දලියද්ද පාළුව - බටහිර, 246 සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහා නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා සඳහන් කළේ නොසන්සුන්තාව යම් මට්ටමකට පාලනය කර තිබුණද එහි පාලනය තවමත් සියයට සියයකින් තහවුරු වී නොමැති බවයි. බන්ධනාගාරයේ පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට ආරක්ෂක අංශ එක්ව දැඩි පරිශ්‍රමයක නිරත වන බවත්, කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් අවම කරගනිමින් මෙහෙයුම් සිදුකරන බවත් පැවසූ ඒ මහතා, ජනතාවට තම නිවෙස්වලට වී සහයෝගය ලබාදෙන ලෙසත් බන්ධනාගාරය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ රැඳවියන් මේ වන විට සෛල තුළට කර බන්ධනාගාරයේ සහ අවට ප්‍රදේශයේ සාමය තහවුරු කර ඇති බවයි. නොසන්සුන්තාවයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, සිදුවූ අලාභහානි සහ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේය.

updates-on-what-happened-in-mahara-jail

updates-on-what-happened-in-mahara-jail

updates-on-what-happened-in-mahara-jail

updates-on-what-happened-in-mahara-jail