
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට පවත්නා අධික තදබදය යම් තාක් දුරට බලපාන්නට ඇති නමුත්, ඒ පිටුපස කිසියම් සංවිධානාත්මක බාහිර හස්තයක් ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ගැටුම ප්‍රධාන වශයෙන්ම හටගෙන ඇත්තේ රැඳවියන් සහ බන්ධනාගාර පාලනාධිකාරිය අතරයි.
කෙසේවෙතත්, මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය ඇවිලවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් යම් බලපෑමක් එල්ල වූයේද යන්න පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.රජය විසින් දැනට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සැලකිය යුතු ලෙස පාලනය වී ඇති අතර, මෙම නොසන්සුන්කාරී වාතාවරණය හටගැනීමට එයද එක් ප්‍රධාන හේතුවක් වන්නට ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. බන්ධනාගාරවල පවතින අධික තදබදය බරපතළ පරිපාලන හා මානුෂීය ගැටලුවක් බව පිළිගන්නා අමාත්‍යවරයා, මෙවැනි අර්බුදකාරී සිදුවීමකට එකම හේතුව එය නොවන බවද පෙන්වා දෙයි.
මෙම අධික තදබදය අවම කරලීම උදෙසා බන්ධනාගාරවල ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු යොදන අතරම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමටත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇතැම් චෝදනාවලට අදාළ ඇප ක්‍රියාපටිපාටිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන හඳුන්වා දීමටත් රජය මේ වන විට පියවර ගනිමින් සිටී. දැනට මත්ද්‍රව්‍යවලට අදාළ වැරදි සම්බන්ධයෙන් රැඳවියන් 23,000කට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාරගතව පසුවන බව හෙළි කළ අමාත්‍යවරයා, මෙම ගැටලුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් තනිව විසඳිය නොහැකි බවද අවධාරණය කළේය.
රජයට නීතිය මගින් මත්ද්‍රව්‍ය සැපයුම පාලනය කිරීමට හැකි වුවද, ඊට පවතින ඉල්ලුමද පහත හෙළිය යුතු බවත්, ඒ සඳහා පුළුල් සමාජීය යහපත් ප්‍රවේශයක අවශ්‍යතාව මතුව ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය භාවිතය ඇතැම් සමාජ කොටස් අතර දැඩි ලෙස මුල් බැසගෙන තිබීම ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේය. මේ අතර, මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවට ඍජුවම සම්බන්ධ බවට සැකකෙරෙන රැඳවියන් මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.
මෙම සිදුවීමට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරන අතරම, බන්ධනාගාරයෙන් පිටත සිට මෙම ප්‍රචණ්ඩත්වය මෙහෙයවීමට යම් සංවිධානාත්මක උත්සාහයක් තිබුණේද යන්න පිළිබඳවද බලධාරීන් පරීක්ෂණ පවත්වයි. මෙවැනි සිදුවීම් කිසිදු පදනමකින් තොරව හදිසියේ ඇති නොවන බැවින්, ඒ පිටුපස ඇති සංවිධානාත්මක බාහිර මැදිහත්වීම් පිළිබඳව සොයා බලන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.