pujith-puts-the-jumper-on-hemasiri

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනී මැරීමට අනුබල දීම යන චෝදනාවලට වැරදිකරුවන් කරමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මඟින් පසුගිය සිකුරාදා මරණ දඬුවම නියම කරන ලද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බන්ධනාගාරය තුළ කිසිදු විශේෂ පහසුකමක් ලබා නොදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා පවසයි.




තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ මෙම හිටපු උසස් නිලධාරීන් දෙදෙනා ප්‍රථමයෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණු අතර, දැනට ඔවුන් රඳවා ඇත්තේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සඳහා වෙන් කළ විශේෂ සිරමැදිරි තුළයි. අච්චු විඳින සිරකරුවන්ට ලබා දෙන ‘ජම්පරය’ සිර ඇඳුම මොවුන් දෙදෙනාට අන්දවා ඇති අතර, මරණීය දණ්ඩනයට නියම වී සිටින බැවින් ඔවුන් බන්ධනාගාර වැඩ කණ්ඩායම් සඳහා යොමු කිරීමක් සිදු නොකෙරෙන බව ද කොමසාරිස්වරයා තහවුරු කළේය.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව මොවුන් දෙදෙනාට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර හිමි නොවන අතර, පවතින නීතිරීතිවලට අනුකූලව සතියකට වරක් පවුලේ සාමාජිකයන්ට ඔවුන් දැක බලා ගැනීමට අවස්ථාව සැලසේ. එලෙස හමුවන අවස්ථාවලදී ද පිටතින් ආහාර වර්ග ලබා දීමට නොහැකි අතර, සබන් සහ දත් බෙහෙත් වැනි සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබා දීමට පවුලේ අයට හැකියාව ඇත. එසේම, මෙම හමුවීම් සඳහා පවුලේ සාමාජිකයකු බන්ධනාගාර නීති ප්‍රකාරව පූර්ව ලියාපදිංචියක් ලබා තිබීම ද අනිවාර්ය වේ.




නත්තල් සහ අලුත් අවුරුදු වැනි විශේෂ ජාතික හා ආගමික උත්සව අවස්ථාවලදී පමණක් බන්ධනාගාර ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ආරක්ෂක හා නීතිමය පරීක්ෂාවන්ට යටත්ව පිටතින් රසකැවිලි හා ආහාර ගෙන ඒමට අවස්ථාව සැලසේ.

මේ අතර, මරණ දඬුවම නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල මහතා ප්‍රකාශ කළේය. පෙරේදා (01) වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් හිටපු පොලිස්පතිවරයා හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මරණ දඬුවම නියම වූ දින සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු බැවින් ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි. එහිදී හිටපු පොලිස්පතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් නීතිඥවරයා කියා සිටියේ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

pujith-puts-the-jumper-on-hemasiri