peradeniya-university-closes-due-to-bad-weather

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. සිසුන්ගේ මෙන්ම විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පාලනාධිකාරිය විසින් සිසුන් වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව ද පාලනාධිකාරිය වැඩිදුරටත් තහවුරු කරයි.




ආරක්ෂිතව ගමන් බිමන් යාමට හැකියාව පවතින සිසුන්ට තම නිවෙස් බලා යාමට අවසර ලබා දී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් ආපසු යාමට නොහැකි වන සිසුන්ට, අදාළ නේවාසිකාගාර බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලම රැඳී සිටීමට පහසුකම් සලසා තිබේ. එහෙත් "සරසවි මැදුර" නේවාසිකාගාරයේ සිටින සිසුන්ට මෙම අවස්ථාව හිමි නොවන අතර, කිසිදු ශිෂ්‍යයෙකු නේවාසිකාගාරවලින් ඉවත් වීමට පාලනාධිකාරිය විසින් බලපෑම් නොකරන බවද අවධාරණය කර ඇත.

අධි අවදානම් සහිත ප්‍රදේශවල පිහිටි පෞද්ගලික නවාතැන්පොළවල සිටින සිසුන්ට තාවකාලික නවාතැන් අවශ්‍ය වන්නේ නම්, විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඒ සඳහා විශේෂ කටයුතු යොදා තිබේ. එවැනි සිසුන්ට නේවාසික පහසුකම් සැලසීමටත්, ඒ පිළිබඳ අවශ්‍ය වාර්තා හා ලේඛන පවත්වාගෙන යාමටත් නේවාසිකාගාර භාර බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

peradeniya-university-closes-due-to-bad-weather