an-investigation-into-how-pallegama-came-to-the-court-by-hiding-from-a-road-belonging-to-the-lawyers

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණ සංකීර්ණ භූමියට ඇතුළු වූ ආකාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නියෝග කළේය. අධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක 

ජී.ධර්මසිරි මහතා වෙත මෙම නියෝගය ලබා දී ඇත.




මෙම නඩුව අගෝස්තු 21 වනදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, ජාතික ළමාරක්ෂක අධිකාරියට මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික්‍රම මහතා විශේෂ කරුණු දැක්වීමක් සිදු කළේය. සාමාන්‍ය ජනතාව පරික්ෂා කර ඇතුළු කරගන්නා ප්‍රධාන දොරටුව මගහැර, විනිසුරුවරුන් සඳහා වෙන්වූ විශේෂ දොරටුවෙන් සැකකාර හිමියන් සුඛෝපභෝගී මෝටර් රථයකින් අධිකරණ භූමියට ඇතුළු වූ බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිය හමුවේ සැවොම එක හා සමාන බවත්, කිසිදු සෝදිසි කිරීමකින් තොරව මෙලෙස විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සැකකාර හිමිනම අධිකරණයට ඇතුළු කරගැනීම පිළිබඳව පොලිසිය වගකීම භාරගත යුතු බවත් නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. සැකකාර හිමියන් තමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතාගේ වාහනයෙන් මීට පෙර අවස්ථාවකදීද මෙම විශේෂ දොරටුවෙන් පැමිණ ඇති බවට එහිදී චෝදනා එල්ල විය.




එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා වහාම විවෘත අධිකරණයට කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ නඩුව නැවත 2027 ජනවාරි 08 වනදා කැඳවීමට නියම කර ඇත.