හුදු ගායිකාවකට වඩා ජනතාවගේ පැත්ත සිට හඬ නැගූ මේ ගායිකාව චාම් බවේ සංකේතයකි.
පුරා දශක ගණනාවක් ඇය සැරසුනේ සුදුවතින්. කලකට ඉහත ඇය තම මෑණියන් පිළිබඳ මතකය අවදි කර තිබුනේ මෙන්න මේ විදිහටයි.
"මගේ අම්මා ලියනගේ එමලි පෙරේරා. අලුත්ගම වැලිපැන්න ලෙවන්දුව ඇගේ ගම් පළාත වුණා.
මගේ තාත්තා ටේලර් කෙනෙක්. මිරිහාන ආරච්චිගේ වින්ස්ටන් පෙරේරා. ගමේ එහෙ වුණත් පවුල් කුටුම්බය පැවතුනේ කොටහේන කාසෙට්ටි වත්තේ.
මේ වත්තේ ලයින් ගෙවල් 58ක් තිබුණා. අපි හිටියේ පුංචි පැලක් වගේ ගේක.
අපේ පවුලේ දරුවන් නමයයි. දැන් එක්කෙනෙක් අප අතර නැහැ. ට්‍රොලි බස් වල, ට්‍රෑම් කාර් වල, තට්ටු බස් වල ගමන් කරන නාගරික පරිසරයක් වුණාට අපි ඒ සමාජයේ වෙනස් පවුල් වලටත් වඩා දුප්පත්ම පවුලක්.
තාත්තට බොහෝ අය කිව්වේ කෝට් බාසුන්නැහැ කියලා. ඒකට හේතුව හයිඩ්‍රාමනි කොම්පැනි වෙනුවෙන් කෝට් මැසීම කළේ මගේ තාත්තා නිසයි.
අම්මගේ ගමත් හරිම දුෂ්කරයි. වෙල් එළි, කමත් කුඹුරු, වන වදුලු තුරුලතා පිරි සුන්දර ගම්මානයක් වුණත් මේ ගමට අදටත් බස් එකක් යන්න බැරි තරම්.
අලුත්ගම වැලිපැන්න මතුගම ආදී බස් වලින් ගිහින් අම්මලාගේ ගමට යන්න නම් ලෙවන්දුව ඉස්කෝල ළඟින් බැහැලා තවත් කිලෝමීටර් තුනක් විතර පයින්ම යන්න වෙනවා.
අපේ අම්මලාගේ මහ ගෙදර තිබුණේ විශාල ගල් තලාවක් අයිනේ. නිවාඩු කාලෙට කොන්ක්‍රීට් වනාන්තරයෙන් අර ලයින් පේළින් ඉගිලිලා අපි යන්නේ අම්මගේ මේ ලස්සන ඒ වගේම දුෂ්කර ගමටයි.
දන්න හැටියට නම් අම්මගේ තාත්තාගේ විවාහය සිදුවෙලා තියෙන්නේ යෝජිත ක්‍රමයටයි. වචනය පරිසමාප්ත ආකාරයෙන්ම අම්මා හරිම අහිංසක මාතාවක්.
ස්වාමි භක්තිය ඇය තුළ ඉතිරුණා. මට මතකයි මා පාසල් ගිය පුංචි දවස්. කොටහේන ගුණානන්ද විද්‍යාලයට තමයි මං අකුරු කරන්න අම්මා යැව්වේ.
මං පවුලේ දරුවන් අතර තුන්වැන්නා. මට උඩින් අයියායි අක්කයි හිටියා. මගේ මව්පියන් කොච්චර දුප්පත්ද කියනවා නම් එයාට අපේ හැකියාවන් තිබුණත් මතු කර දෙන්න තරම් වියදමක් දරන්න බැරුවයි හිටියේ.
ඒ නිසා ඔවුන් ඒ ගැන හිතුවෙත් නැති තරම්. කඩේට ගියත් යමක් ගේන්න වුණත් බොහෝ විට යන්නේ මමයි. ගෙදර පිලිවෙල දන්නා නිසා මට පිරිමහලා ගේන්න පුළුවන් බව අම්මා හොඳටම දන්නවා.
කොච්චර නැති බැරි වුණත් නරක වැඩ, පව් වැඩ වලට දරුවන් යවන්න අම්මත් තාත්තත් කැමති නැහැ. අනුන්ගේ දෙයක් ඉල්ලන්නවත් පුරුදු කරන්නේ නැහැ. ලැබෙන රුපියල් 10යිද ඒ 10න් ජීවත් වෙන්න බලනවා.
මම දවසක් පුංචි කමට කඩේ මුදලාලිගෙන් ලූණු ගෙඩි දෙකක් හොරකම් කරගෙන ගෙදර ආවා. ගෙදර ලූණු බික්කක්වත් නැති නිසයි එදා වුණත් මම ඒ හොරකම කළේ.
මුදලාලි දැක්කේ නැහැ. අම්මා ලූණු කොහෙන්ද කියලා ඇහුවම මම ඇත්තම කිව්වා. අම්මට තරම් තදින් කේන්ති ගිය දවසක් මට මතකයක් නැහැ. ඇය අපිට කවදාවත්ම නියපිටින් පහරක් ගහලවත් නැහැ.
ඒත් එදා අම්මා මහා කේන්තියෙන් ආවා. 'ගණින් ඔය ලූණු' කිව්වා. මගේ අතින් අල්ලාගෙන පාර දිගේ බැන බැන මාව එක්කගෙන කඩේට ගියා. 'මුදලාලි සමාවෙන්න මේ කෙල්ල ලූණු ගෙඩි තුනක් හොරකම් කරලා බලන්න මේ දරුවා හැදෙන හැටි' කියලා අම්මා ලූණු පෙට්ටියට මගේ අතින් උදුරලා දැම්මා.
යන එන මග මිනිස්සු බලාගෙන හිටියා. මුදලාලිටත් හිනා. ඒත් කවුරුත් අම්මගේ මේ ක්‍රියාව ගොඩක් අගය කළා. එදා මෙදා කවදාවත් අන්සතු දෙයක් හොරෙන් නම් ගත්තේ නැහැ. එදා අම්මා එහෙම නොකළා නම් මට වැරදි පූර්වාදර්ශයක් ලැබෙන්නේ.
මට ඉස්කෝලේ කිව්වේ 'කවි නන්දා' කියලයි. හේතුව ලෝ වැඩ සඟරාවේ කවි, සුභාෂිතයේ කවි මං හැඩ දාලා ඉස්කෝල රැස්වීමේදී කියනවා.
මගේ කලා ජීවිතයේ තිඹිරිගේ ඇත්තටම පාසල. පාසලේ සිල්වෙස්ටර් මාස්ටර් මෙහිදී අමතක කළ නොහැකි නමක්. එතුමා ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වන වික්ටර් වික්‍රම මහතාගේ තාත්තා.
මං ඉස්කෝලේ කලා හැකියාව මුලින්ම දියුණු කළේ කවියෙන්. ඊළඟට රංගනයෙන් කිව්වොත් ඔබ පුදුම වෙයි. මුලින්ම පාසලේ හදපු වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිෂ්ණ ජිනාගේ චරිතය රඟපෑවේ මමයි. මේවා බලන්න මගේ රත්තරන් අම්මට ආසාව උනන්දුව තිබුණත් එවැනි තැනකට එන්න තරම් වත් පොහොසත් ඇඳුම් ඇයට තිබුණේ නැහැ.
ඇය එවැනි ඇඳුම් ලොකු දේවල් සැලකුවෙත් නැහැ. ඒත් දරුවට ලැජ්ජ වෙයි කියලා ඉදිරියට ඇවිත් වාඩි වුණෙත් නැහැ. ගෙදර ආවම අම්මා මේවා ගැන කියපු දේවල් වලින් මට අම්මා ඒවා බලලා තියෙනවා කියලා හැඟුණා.
මා ඒ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කළාම ඇය කිව්වේ මෙහෙමයි. 'දුවේ මං උඹට හරි ගුරුවරුන්ට හරි නොපෙනෙන්න උඹේ දස්කම් බලන්න ආවා. මං හැංගිලා උඹේ දස්කම් බලලා අපූරු රසයක් වින්දා.' අම්මා එහෙම කියනකොට මගේ හදවත ඇය වෙනුවෙන් කරුණාවෙන් ඉපිලුනා.
අපේ ගෙදර ලයිට් නැහැ. එක පෙළට දරුවන් වාඩි වුණාම ගෙයි තවත් ඉඩක් නැහැ. අපේ ගෙදර බත් බෙදන්නේ ලොකු අක්කා. අම්මට බත් ටික බෙදන්න දුන්නොත් බත් මුට්ටියේ දං කුඩු ටිකක්වත් තියාගන්න නැතුව දරුවන්ටම බෙදනවා.
අපේ අම්මටත් හොඳට කවි කීමේ හැකියාවක් තිබුණා. අම්මා ගමේදී අත්කම් ක්‍රමයට ගොවිකම් කටයුතු කරනකොට කියපු කවි ගී අම්මා නිතර සිහිපත් කරනවා.
මම පවුලේ තුන්වැනියා නිසා මට පස්සේ හිටි හැම දෙනාම ඉපදිලා නැලවෙන හඬ මට ඇහුණා. මටත් මුලින්ම කවි කීමේ අගය වැටහුණේ අම්මාගෙන්. මගේ අම්මා අපිට අධ්‍යාපනය විතරක් නෙමෙයි. නැණ නුවණත් දුන්නා. ගාථා කියලා දරුවන් මාපියන්ට වඳින්න ඕනේ.
ඒක අම්මා අපිට පුරුදු කළේ වැඳුම් ගන්න නෙවෙයි. මගේ අම්මගේ ජීවිතයේ වැදගත්ම දේ චාම් බව. ඒ වගේම සරල බව. ඒ වගේම අරපිරිමැස්ම. කිසිම දෙයක් ගැන වැඩි ආශාවක් නැතිකම.
ඇය අපිට කෘතවේදීත්වය ඉගැන්වූයේ ඇගේ මහ ගෙදර ඇත්තන් සමඟ බක් මහ සැනකෙළියකදී. ඒ ළිදත් සමඟ ගනුදෙනු කරන්න උගන්නලා.
වතුර කලින් ළිඳට හලලා අලුත් කලයක් ගත්තේ. අම්මා පාන්දරම නැගිටිනවා. මටත් ඒ පුරුද්ද ඒ විදිහටම ආවා. අපේ ඇඳුම් ලොකු මහත් වනතුරුම මැහුවේ අම්මා.
ඇය කිසිම දෙයකින් අනවශ්‍ය සතුටකට පත්වන්නෙවත්, අනවශ්‍ය දුකටවත් පත්වෙන්නේ නැති ගැහැණියක්. අපේ තාත්තා සිගරට්, බීඩි, අරක්කු මේ මොනම දෙයක්වත් කටේ තිබ්බේ නැහැ. ඒත් මා 'බුදු තාත්තේ බොන්න එපා' ගීතය ගැයුවම මිනිස්සු අහලා 'අංකල් බොරු දැම්මට හොඳට අඩි ගහනවානේ' කියලා.
තාත්තා මේකෙන් කම්පා වෙලා මට කිව්වා ඇයි දුවේ ඒ ගීතය කිව්වේ කියලා. ඒත් ඒක පොදු ජන ගීතයක් කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ. ඒ තරම් ඒ අය සංවේදීයි. මේවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් ඇසුරෙන් නිර්මාණය කරද්දී අම්මා ගොඩක් සතුටු වුණා.
ගීතය ප්‍රබල මාධ්‍යයක් බව මට වටහා දුන්නේ එතුමා. දුක් විඳින මිනිසුන්ගේ පැත්තේ අම්මා කවදත් හිටියා. ඒ නිසා ඒ ගී සමුච්චය ඇයට අස්වැසිල්ලක්. ඇය බිය ගත්තේ නැහැ.
ඒත් මරණ තර්ජන එල්ල වී අපේ ගී ගුවන් විදුලිය තහනම් කරනකොට අම්මා තරමක් බය වුණා. ඒත් මගේ සමාජවාදී අදහස් ඇය අගය කළා. ගුවන් විදුලියේ විශේෂ ශ්‍රේණියේ ගායිකාවක් ලෙස රත්න ශංකර් පර්දුමන්ගේ ශ්‍රේණිගත වීම සිදුවූ දවසේ අම්මා පුදුමාකාර සතුටක් ලැබුවා.
මගේ අම්මා තාත්තා යම් බදු දුරකට කම්පාවට පත් කළ යමක් ඇත්නම් ඒ වරද කළේ මමයි කියලා මා නොපිරිහෙලා හිතනවා.
ජීවිතයේ සැලසුම් කිරීම් පිළිබඳ මුල්ම පාඩම් මට කියා දුන්නේ අම්මා. මගේ ජීවිතයේ චාම්කම, සියල්ල විඳ දරා ගැනීම, උපේක්ෂාව, අරපිරිමැස්ම මේ හැමදේම මා ලැබුවේ ඒ අම්මාගෙනුයි.
මගේ පොඩි දුව අමාගේ පළමු වැනි දරු ප්‍රසූතියේදී මට ලන්ඩන් වලට යන්න සිදුවුණා. අම්මා ඒ කාලේ හිටියේ බාල නංගි ළඟයි. මම එහේ ගිහින් මාස තුනකට පස්සේ නැවත එන්නම් කියලා අම්මට කිව්වම අම්මා කිව්වේ දූ උඹ එනකන් මම මැරෙන්නේ නැහැ කියලායි.
පැය පහක් එයාපෝට් එකේ රස්තියාදු වෙලා මාස තුනකට පස්සේ ලංකාවට එන ගමනේදී කෙලින්ම අම්මා බලන්න නොයා ඊට පහුවෙනිදා ඒ බලන්න යන අදහසින් මම ගෙදර ගියා. එදා රාත්‍රියේ අම්මට අමාරුයි කියන වේදනාබර වචනය මට දුරකථනයෙන් ඇසුණා. අනේ මං යනකොටත් අම්මා නංගිගේ ඔඩොක්කුවේ සිට අපව අතහැර ගිහින්.
ඒත් මගේ අම්මා කිව්වා වගේම මා ලංකාවට එනතුරු ඇය මැරුණේ නැහැ. ඒ සදාකාලිකව මට වේදනාවක්. ඇගේ ඇස් පියවෙන කලින් මට එතුමිය ළඟ අන්තිම මොහොතේ ඉන්න බැරි වුණා."