කොළඹ 09, මරදාන දෙමටගොඩ පාරේ පිහිටි "මල් බෙරි රිසෝට්" නැමැති තට්ටු 14 කින් යුත් මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් පහළට ඇදවැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් අගෝස්තු 16 වනදා පස්වරුවේ වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි අබ්දුල් හසීන් නැමැති දරුවෙකි.
මෙම දරුවාගේ මව පවුල අතහැර ගොස් ඇති අතර පියා මත්පැන් පානයට තදින් ඇබ්බැහි වී සිටීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත දරුවා පරිවාස භාරයෙන් මුදාහැර මිත්තණියගේ භාරකාරත්වයට පත්කර තිබිණි. ඒ අනුව මියගිය දරුවා හැදී වැඩෙමින් සිට ඇත්තේ සිය මිත්තණියගේ සෙවණෙහි ය.
සිදුවීමට අදාළ මූලික තොරතුරුවලට අනුව, මෙම දරුවා තවත් කුඩා ළමයින් පස්දෙනෙකු සමග අදාළ ගොඩනැගිල්ලේ 14 වන මහලේ පිහිටි නාන තටාකය අසල සිට අවට සිරිය නරඹමින් සිට ඇත. එහිදී පහළින් ඇසුණු ශබ්දයක් සමග අනෙක් ළමයින් පස්දෙනා පහළට පැමිණ ඇති අතර, මියගිය දරුවා වෙනත් විවෘත හා අනාරක්ෂිත ස්ථානයකින් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම හදිසි අනතුර සිදුව තිබේ.
අනතුරින් පසුව අඩි 120 ක් පමණ පහළින් පිහිටි නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ විවෘත කොටසකට ඇදවැටී සිටි දරුවාගේ සිරුර දුටු පුද්ගලයකු විසින් මරදාන පොලිස් ස්ථානය වෙත ඒ පිළිබඳව දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සී.එස්. පත්ම කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. මයුරන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුවීමට මුහුණ දුන් අනෙක් ළමයින්ගෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන පවත්වයි.