2019 වසරේ වීරකැටිය පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේ නොගෙවූ විදුලි බිල සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ.එච්.එම්.ඩී.
නවාස් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වෙමින් පවතින බැවින්, ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණය විසින් මෙහිදී අවසර ලබා දෙන ලදී. නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සම වෙනුවෙන් අධිකරණයේදී නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.
පෙත්සමේ සඳහන් වන්නේ 2019 වසරේ සැප්තැම්බර් 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ වීරකැටිය නිවසේ පැවැති නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් භාවිත කළ විදුලිය සඳහා රුපියල් 2,682,246.57ක මුදලක් අය විය යුතුව තිබූ බවයි. එම දිනවල අදාළ නිවසට සහ ඒ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු සපයන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඊට අදාළ පිරිවැය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් ගෙවීමට සූදානම් බව දක්වමින් අමාත්‍යවරයා විදුලිබල බලධාරීන් දැනුවත් කර තිබූ බව ද එහි දැක්වේ.
කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් තම බලය අයුතු ලෙස භාවිතා කරමින් විදුලිය ලබාගෙන අදාළ ගාස්තු ගෙවීම පැහැර හැර ඇති බවට පෙත්සම්කරු චෝදනා කරයි. තමාගේ නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ ද, මෙවැනි අතිවිශාල හිඟ මුදලක් පවතිද්දීත් වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකිරීම නීතිය ඉදිරියේ අසමාන සැලකීමක් බව පෙත්සම්කරු පෙන්වා දෙයි. මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු මුදල තමන් විසින් ගෙවා දමා ඇති බව හිටපු අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතා මීට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.