වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ මෙරට 35 වැනි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ මෘතදේහ පරීක්ෂණ කටයුතු ඊයේ (17) දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
මෙම විමර්ශන කටයුතුවල මූලික පියවරක් ලෙස කොළඹ නැගෙනහිර මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් හිටපු පොලිස්පතිවරයා පදිංචිව සිටි නිවස වෙත පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදුකර අදාළ වෛද්‍ය සටහන් ලබා ගැනීමට පියවර ගෙන ඇත.අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය මඟින් මෙය දිවි නසා ගැනීමක් බවට නිල වශයෙන් තහවුරු වුවහොත්, පොලිස් බලධාරීන් පෙන්වා දෙන්නේ පවතින නීති රීතිවලට අනුව හිටපු පොලිස්පතිවරයාගේ දේහයට නිල ඇඳුම් ඇන්දවීම හෝ පොලිස් ගෞරවාචාර දැක්වීම සිදු කිරීමට නොහැකි වන බවයි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ පොලිස්පති ධුරය හෙබවූ අයකු මෙලෙස දිවි නසා ගැනීමකින් මියගිය පළමු අවස්ථාව මෙය වන අතර, මින් පෙරද දිවි නසාගත් කිසිදු පොලිස් නිලධාරියකු වෙනුවෙන් පොලිස් ගෞරවාචාර පවත්වා නොමැති බව උසස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මරණයට හේතු වූ වෙඩි වැදීම ඊයේ උදෑසන කාලයේදී මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස තුළදී සිදුව ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ගිනි අවිය භාර දුන් පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව පවසා හිටපු පොලිස්පතිවරයා තමාගෙන් රාජකාරි ගිනි අවිය ඉල්ලාගත් බවයි. අවිය අතට පත් වීමෙන් පසු තමාට වතුර වීදුරුවක් රැගෙන එන ලෙස දන්වා නිලධාරියා පිටත් කර හැර ඇති අතර, ඉන් අනතුරුව මෙම වෙඩි තබා ගැනීම සිදුව තිබේ. විමර්ශන සිදු කරන නිලධාරීන් පවසන්නේ හිටපු පොලිස්පතිවරයාගේ පපු ප්‍රදේශයට වෙඩි උණ්ඩයක් එල්ල වී ඇති බව පෙනී ගොස් ඇති බවයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී අදාළ රිවොල්වර අවියද පොලිසිය විසින් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා භාරයට ගෙන ඇත.
පොලිස් ආරංචි මාර්ග තොරතුරුවලට අනුව හිටපු පොලිස්පති වික්‍රමරත්න මහතා ඊයේ උදෑසන වෙනදා මෙන්ම කිසිදු අසාමාන්‍යතාවයකින් තොරව සිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සමඟ ශාරීරික ව්‍යායාමවල නිරත වී තිබේ. ඉන් අනතුරුව උදෑසන හතයි තිහට පමණ ඔහු නැවත නිවසට පැමිණ ඇති අතර, සුළු වේලාවකින් නිවස තුළින් වෙඩි හඬක් නිකුත් වී ඇත. වෙඩි හඬත් සමඟ වහා ක්‍රියාත්මක වූ නිවැසියන් සහ අසල්වැසියන්, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේද සහාය ඇතිව ලේ ගලන තුවාල සහිතව සිටි ඒ මහතාව වහාම කොළඹ නැගෙනහිර මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබේ. එහිදී පරික්ෂා කළ වෛද්‍යවරුන් ඔහු ඒ වන විටත් මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත. මියයන විට හැට ගණන්වල පසු වූ ඒ මහතා පුතුන් දෙදෙනෙකුගේ පියෙකි.
මෙම අනපේක්ෂිත සිදුවීම සැලවීමත් සමඟ තලංගම පොලිසිය මෙන්ම වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් සහ උසස් පොලිස් නිලධාරීන් රැසක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂා කිරීමේ කොට්ඨාසයේ (සොකෝ) නිලධාරීන් සහ පොලිස් ඇඟිලි සලකුණු විශේෂඥයන්ද අපරාධ ස්ථානයට පැමිණ විද්‍යාත්මක සාක්ෂි එක්රැස් කිරීමට කටයුතු කළහ. හිටපු පොලිස්පතිවරයාට වෙඩි තබා ගැනීමට කිසියම් පෞද්ගලික හේතුවක් බලපෑවේද යන්න සෙවීම සඳහා වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති අතර, ඔවුන් වික්‍රමරත්න මහතාගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන තිබේ. බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන්, බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ මෙහෙයවීමෙන් මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මෙම අවාසනාවන්ත තීරණයට හිටපු පොලිස්පතිවරයාව තල්ලු කර දමා ඇත්තේ මෑතකාලීනව ඔහුගේ පවුල තුළ නිර්මාණය වූ දැඩි සිත් තැවුලක් සහ මානසික පීඩනයක් බව තොරතුරු පළව තිබේ. වික්‍රමරත්න මහතාගේ පුත්‍රයෙකුගේ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින්, විවාහයෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරා තිබීම මෙම ගැටලුවේ මුල පිරීමයි. තත්ත්වය තවත් බරපතළ කරමින්, එම ලේලි විසින් තමා ගෘහස්ථ හිංසනයට ලක්වූ බවට චෝදනා කරමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.
තමා වසර ගණනාවක් ඉතා ගෞරවාන්විතව ඉහළම ධුරය දැරූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, තමන්ගේම පවුලේ අභ්‍යන්තර ගැටලුවක් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සහ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදුකළ විමර්ශන වික්‍රමරත්න මහතාගේ දැඩි සිත් රිදවීමට හේතු වී ඇත. සිය සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ මෑතකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මෙම විමර්ශන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව තමා අතිශය කනගාටුවට පත්ව සිටින බවයි. ජීවිතයේ සැඳෑ සමයේදී මුහුණ දීමට සිදු වූ මෙම පවුල් ආරවුල සහ ඉන් ඇති වූ සමාජයීය අපකීර්තිය දරාගත නොහැකිව ඔහු මෙලෙස දැඩි සිතේ අමනාපයෙන් පසුවී තිබේ.
හිටපු පොලිස්පති වික්‍රමරත්න මහතා ආගම දහමට බෙහෙවින් ළැදිව කටයුතු කළ, මස් මාංශ අනුභවයෙන් තොර මෙන්ම මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටි අයෙකි. ඒ මහතා සමඟ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී එකට පුහුණුව ලැබූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ, වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරය දරන සමයේ පවා නිරන්තරයෙන් භාවනා වැඩසටහන්වලට සහභාගි වූ බවයි.
