2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) කණ්ඩායමේ සම අයිතිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා එළඹෙන ජූලි මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මංජොට් කල්රා සහ මෙම ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකි. ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගවල ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා සැකකාර මංජොට් කල්රා විසින් ඇමෙරිකානු ඩොලර් 30,000කට අධික මුදලක් ලබා දීමට යෝජනා කර ඇති බවයි. ඔහු විසින් භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ සහ අවිශ්ක ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත මෙම තරග පාවාදීමේ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම ක්‍රීඩකයන් වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය වෙත තොරතුරු වාර්තා කර ඇත.
ඉන් අනතුරුව, අදාළ ක්‍රීඩකයන් විමර්ශන ඒකකයේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සැලසුම් සහගත මෙහෙයුමක කොටසක් ලෙස සැකකරුවන් සමඟ සන්නිවේදනය කර තිබේ. එහිදී මුලින් ඉදිරිපත් වූ මූල්‍ය යෝජනාව පිළිබඳව පාර්ශ්වයන් අතර සාකච්ඡා සිදුව ඇති අතර, අවසානයේ රුපියල් මිලියන 11.5ක සමස්ත මුදලකට එකඟතාව පළ වී ඇත. ඉන් රුපියල් මිලියන 9.5ක මුදලක් අත්තිකාරම් ලෙස ලබා දීමට සැකකරුවන් එකඟ වී ඇති බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව, මෙම සිදුවීමට සම්බන්ධ දෙවැනි සැකකරු එකඟ වූ පරිදි රුපියල් මිලියන 9.5ක මුදලක් කළු පැහැති බෑගයක දමාගෙන කොළඹ ප්‍රදේශයේ නිශ්චිත ස්ථානයකට පැමිණ ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. මෙම කුමන්ත්‍රණයට අදාළව සිදු වූ දුරකථන සංවාද පටිගත කිරීම් සහ වීඩියෝ දර්ශන ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, ඒවා මුද්‍රා තැබූ වාර්තා ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥයන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මංජොට් කල්රා කිසිදු අල්ලස් මුදලක් යෝජනා කිරීම හෝ ගෙවීමක් සිදු කර නොමැති බවත්, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පමණක් බවත් පවසමින් ඇප ඉල්ලීමක් කළේය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දීමෙන් දැනට සිදුවන විමර්ශනවලට බාධා එල්ල විය හැකි බව නිරීක්ෂණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර නඩුව නැවත කැඳවීම ජූලි 31 වැනිදාට නියම කළේය.