sajith-if-you-cant-say-namal-will-lead-the-opposition---manoj-gamage

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනොජ් ගමගේ මහතා පොහොට්ටු මාධ්‍ය හමුවක් අමතා මෙසේ කියා තිබේ.




"මේ වන විට මේ රටේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා, ඔවුන් ඉතිහාසයේ කරපු බරපතළම අත්හදා බැලීම සහ බරපතළම වැරැද්ද සිදු කරගෙන තිබෙන බව. මේ වන විට විරුද්ධවාදීන්ගේ කටවල් වැසීමට කටයුතු කරමින් සිටිනවා. වසර ගණනාවක් පුරාවට මේ රටේ ඉතාමත් ගරුකටයුතු, ස්වාධීන අධිකරණ පද්ධතියක් පැවතුණා. දැන් මේ ස්වාධීන අධිකරණ පද්ධතිය පැලවත්තේ පාලනයට නතු කරගැනීමේ උත්සාහයක මොවුන් නිරත වෙමින් පවතිනවා. විනිශ්චයකාරවරුන් දැඩි පීඩනයකින් කටයුතු කරන බව අපට පෙනෙන්නට තිබෙනවා. විනිශ්චයකාරවරුන් ඒකරාශී වී මේ සම්බන්ධයෙන් තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඔවුන්ගේ ඉදිරි ඉරණම පිළිබඳවත්, රජය පැත්තෙන් ඔවුන්ට එල්ල වන තර්ජන පිළිබඳවත් යම්කිසි සැකයක් මේ වන විට අප තුළ මතු වෙමින් පවතිනවා. මොකද, ඒ සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ තුළින් එවැනි බරපතළ තත්ත්වයක් මතු වන බව පෙනෙන්නට තිබෙනවා.

ඒ වගේම පසුගියදා අප දැක්කා, සමාජ මාධ්‍යවල යම් කිසි පුද්ගලයෙක් ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට විරුද්ධව ප්‍රචාරයන් දියත් කළ නිසා ඔහුව රඳවා තබාගැනීමේ නියෝග (ඩී.ඕ.) නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ඔහුව කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තා. යම්කිසි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හෝ රටේ පවතින නීතිරීති පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඩී.ඕ. (රැඳවුම් නියෝග) නිකුත් කරන්න ඉස්සර, ඩී.ඕ. නිකුත් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සැකකරුවන්ට සහ ඒ වගේ බරපතළ සැකකරුවන්ට පමණයි. හැබැයි මේ වන විට රජය, තමන්ව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා ඩී.ඕ. ගහලා (රැඳවුම් නියෝග මත) රඳවා තබාගන්නා තත්ත්වයට කටයුතු කරමින් සිටිනවා. මෙය ඉතාමත් බරපතළ මර්දනකාරී තත්ත්වයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යමින් පවතිනවා.




මම හිතන්නේ ජනතාවට දැන් තේරිලා තිබෙනවා, තමන් අත්හදා බලන්න ගහපු කතිරය මේ වන විට මුළු රටේම සොහොනක් බවට පත් වෙමින් තිබෙන බව. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම උදා වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම විපක්ෂයට කියනවා, විපක්ෂ නායකතුමාට කියනවා: "ඔබතුමා ඇහැරෙන්න, ඔබතුමා නැගිටින්න. ඔබතුමා තමයි මේකට නායකත්වය දෙන කෙනා. බැරි නම් කියන්න, නාමල් රාජපක්ෂ මැතිතුමා ඒකට නායකත්වය ලබා දෙයි. මොකද අපිට ඒක පුළුවන්."

හැබැයි ඔබතුමාට තමයි රටේ ජනතාව විපක්ෂ නායකකම ලබා දීලා තිබෙන්නේ. ඒ විපක්ෂ නායකකම ආණ්ඩුවට ඕනෑ විදිහට පාවිච්චි කරන්න දෙන්න එපා. අර ආණ්ඩුව විසින් ඔබතුමාට සුදුහුණු ගාන කොට, වර්ණනා කරන කොට ඒ බහට රැවටිලා විපක්ෂ නායකයාගේ කාර්යභාරය අමතක කරන්න එපා. මේ රටේ ජනතාව විශ්වාස කරන දේකුත් තිබෙනවා. ඔබතුමා එක්ක අපේ පුද්ගලික තරහක් නැහැ. හැබැයි මේ රටේ ජනතාව විපක්ෂයෙන් බලාපොරොත්තු වන, විශ්වාස කරන දේ තමයි විපක්ෂ නායකතුමා මේ වෙලාවේදී තමන්ගේ කාර්යභාරය ඉටු කරන්නේ නැහැ කියන එක. ඒක අපි විතරක් නෙවෙයි, හැමෝම පිළිගන්න දෙයක්. මේ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකකමේ සිටියා නම් අද මේ රට තිබෙන්නේ කොතැනද?"