ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හේවා කොමානගේ උපාලි ධර්මදාස (එච්. කේ.
උපාලි ධර්මදාස) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක්ම හොබවා ඇති ඒ මහතාගේ අභාවය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අවමංගල්‍ය කටයුතු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ප්‍රකට නවලෝක ව්‍යාපාර සමූහයේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු, දේශීය ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින් කොළඹ පිහිටි ප්‍රසිද්ධ ‘උපාලිස් බයි නවලෝක’ (Upali’s by Nawaloka) ආපනශාලාව ආරම්භ කළ නිර්මාතෘවරයා ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය.ප්‍රකට ව්‍යාපාරික හා සමාජසේවක දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස (නවලෝක මුදලාලි) මහතාගේ සහ මීලින් ධර්මදාස මහත්මියගේ බාලම පුත්‍රයා වන උපාලි ධර්මදාස මහතා, නවලෝක රෝහල් සමූහයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සහ මාලිනී, රුක්මණී, පුෂ්පා, ප්‍රියානි යන මහත්මීන්ගේ සහෝදරයාය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා පසුව එක්සත් රාජධානියේ වැන්ඩ්ස්වර්ත් කාර්මික විද්‍යාලයෙන් (Wandsworth Technical College) උසස් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා, ආයතනික කළමනාකරණය සම්බන්ධයෙන් දශක තුනකට වැඩි ප්‍රායෝගික පළපුරුද්දක් හිමිකරගෙන සිටියේය. කොළඹ 7, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ පිහිටි පවුලේ මහගෙදර ඔහු කුඩා කල සිට හැදී වැඩුණු ස්ථානයයි.
නවලෝක සමූහ ව්‍යාපාරය තුළ කැපී පෙනෙන මෙහෙයවීමක් සිදුකළ ඒ මහතා, නවලෝක පයිලින්, නවලෝක පොලිසැක්ස්, නවලෝක ටිම්බර් ස්ටෝර්ස්, නවලෝක ඉන්ඩස්ට්‍රීස්, නිව් නවලෝක ට්‍රේඩින් සහ නවලෝක ඩිවෙලොප්මන්ට්ස් වැනි සමාගම් ගණනාවක කළමනාකාර අධ්‍යක්ෂ සහ සභාපති තනතුරු හොබවන ලදී. ව්‍යාපාරික ක්ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්, සෙයිලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා දැව වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ඔහු සේවය කළේය. මීට අමතරව ශ්‍රී ලංකාවේ මොරොක්කෝ රාජධානියේ ගෞරවනීය කොන්සල් ජෙනරාල්වරයා ලෙසද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කර තිබේ.
මෙරට ක්‍රිකට් පාලනය තුළද දීර්ඝ කාලයක සිට ක්‍රියාකාරී මෙහෙවරක් ඉටුකළ උපාලි ධර්මදාස මහතා, 1989 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස පත්වෙමින් ක්‍රිකට් පරිපාලනයට පිවිසියේය. පසුව 1996 වසරේදී ඇනා පුංචිහේවා මහතා පරාජයට පත් කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් ඔහු 1998 දක්වා එම ධුරයේ කටයුතු කළේය. අනතුරුව 2011 වසරේදී ක්‍රිකට් අන්තර්වාර පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මගපෙන්වීම් යටතේ 2012 වසරේ පැවැති නිලවරණයෙන් නිතරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට නැවතත් තේරී පත් විය.
ව්‍යාපාරික හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි නියැලෙන අතරතුර පාකශාස්ත්‍රය කෙරෙහි පැවැති පෞද්ගලික ආශාව නිසාම, 2013 වසරේදී සිය දෙමාපියන්ට උපහාරයක් ලෙස තමන් හැදී වැඩුණු කොළඹ මහගෙදර පරිශ්‍රයේදී ‘උපාලිස් බයි නවලෝක’ ආපනශාලාව ආරම්භ කිරීමට ඔහු පියවර ගත්තේය. දේශීය ගෘහස්ථ පන්නයේ පාරම්පරික ශ්‍රී ලාංකේය ආහාර වේලක් පිරිනැමූ මෙම ආපනශාලාව, මාළු ඔළු කරිය, මාතර ඇඹුල් තියල්, යාපනයේ කකුළුවෝ කරිය, ගැමි බටු මෝජු, ආප්ප, ඉඳිආප්ප සහ කොත්තු ඇතුළු දේශීය ආහාර සඳහා බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය. Tripadvisor Travellers' Choice සම්මානයෙන් හා World’s 50 Best Discovery ලැයිස්තුවට පවා ඇතුළත් වූ මෙම ව්‍යාපාරය සඳහා ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා ධර්මදාස මහත්මියගෙන්ද සක්‍රීය දායකත්වයක් හිමි විය.
