දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටින බවට පළවන වාර්තා පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අංශය පෙන්වා දෙන්නේ ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙවැනි පුවත්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
2025 වසර තුළදී රට පුරා පිහිටි ජනාධිපති මන්දිරයන්හි විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බවට පළ වූ පුවත සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙම කරුණු අනාවරණය කර තිබේ.
රාජකාරිමය අවශ්‍යතාවන් උදෙසා විවිධ අවස්ථාවලදී ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන් පමණක් අදාළ පරිශ්‍රයන් වෙත පැමිණ ඇති බව එහි සඳහන් වේ. එමෙන්ම එම නිලධාරීන් පවා ලැගුම්ගෙන ඇත්තේ ජනාධිපති මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් අනුබද්ධිත ගොඩනැගිලිවල මිස කිසිදු අවස්ථාවක ප්‍රධාන ජනාධිපති මන්දිර තුළ නොවන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කරයි.