
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය සූදානම් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට කටයුතු යොදා තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.
පෙරේරා මහතා සඳහන් කළේ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඒකාබද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට අනුව, අද දින ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ වන තීරණ දෙකක් අනුමත කරගැනීම සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ විශේෂ යෝජනාව පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විවාදයට ගැනෙනු ඇත. ඊට අමතරව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) මගින් අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳවද අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
පස්වරු 2.30 සිට 5.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය සම්බන්ධයෙන් වන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහාය. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් අනිද්දා දිනයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති බවයි.