bribe-to-catch-kapila-chandrasenas-wife---cid-team-to-australia

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී යුරෝපීය සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පුළුල් කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.




මෙම විශේෂ විමර්ශන සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අදාළ සිදුවීමේ දෙවන සැකකාරිය වන හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියන්කා නියෝමාලි විජේනායක සහ තෙවැනි සැකකරු වන හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ඉදිරි නීතිමය පියවර ගැනීමයි. මොවුන්ට එරෙහිව ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මීට පෙර පියවර ගෙන තිබිණි.

අල්ලස් ලෙස ලබාගත් මුදල් තැන්පත් කර ඇති බවට සැකකෙරෙන බැංකු ගිණුමක හිමිකරුවකු වන, දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩබ්ලිව්. ඩී. නිමල් පෙරේරා නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද මෙහිදී නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කරයි. එමෙන්ම, දෙවැනි සැකකාරියට අයත් ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කෙරෙන අධිකරණ නියෝග ද මේ වන විට ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.




මේ අතර, මෙම නඩුවේ පළමු සැකකරු වූ කපිල චන්ද්‍රසේන පසුගියදා අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, ඒ පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු කොටුව අධිකරණයේදී විභාග වෙමින් පවතී. මීට අමතරව, දෙවැනි සහ තෙවැනි සැකකරුවන්ට එරෙහි නඩු කටයුතු කොටුව සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ මේ වන විටත් ගොනු කර තිබේ.