
බන්ධනාගාර තුළ සිදුවන විවිධ ගැටුම්කාරී තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් රැඳවියන්ගේ හැසිරීම් රටාවන් සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කර වාර්තා කිරීමට දහසකට ආසන්න බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අලුතින් යොදවා තිබේ. සිරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා, ඔවුන් සංවිධානය කරන කුමන්ත්‍රණ සහ පිටත පාතාල කල්ලි සමඟ පවත්වන සබඳතා පිළිබඳව විමර්ශනය කර තොරතුරු ලබාදීම මෙම බුද්ධි කණ්ඩායම්වල ප්‍රධාන කාර්යභාරය වේ.
මීට අමතරව, බන්ධනාගාර අභ්‍යන්තරයේ රැඳවියන් කල්ලි ගැසීම වැළැක්වීමේ පියවරක් ලෙස එකම ස්ථානයක දීර්ඝ කාලයක් තබා නොගෙන ඔවුන් වරින් වර වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද රජය පියවර ගෙන ඇත. අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව දක්වන පරිදි දැනට මෙරට බන්ධනාගාර පද්ධතියේ සමස්ත රැඳවියන් 42,000 ක් පමණ සිටින අතර, බරපතළ අපරාධ ඇතුළු විවිධ හේතූන් මත මරණ දඬුවම හිමිවූ සිරකරුවන් 817 කට අධික සංඛ්‍යාවක් ඒ අතර වෙති.
බන්ධනාගාර තුළ සිට විවිධ අක්‍රමිකතා සහ කුමන්ත්‍රණ මෙහෙයවන පාතාල ක්‍රියාකාරීන් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙස ද රජය විසින් බුද්ධි අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත. මේ අතර, බන්ධනාගාරවල පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා ද විවිධ පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා ප්‍රකාශ කළේය.