
ගිං ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් විරාජ් රශ්මික ද සිල්වා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මත අසත්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා පැටවීමට උත්සාහ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී වැඩ තහනම් කර තිබේ. පොලිසියේ කීර්ති නාමයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප හා වීඩියෝ දර්ශන මුදාහැරීම ඇතුළු විනය විරෝධී ක්‍රියා රාශියක් මුල් කරගනිමින් ජූලි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගෙන ඇත.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මාතර සහකාර පොලිස් අධිකාරී කාරියවසම් මහතා විසින් මෙම වැඩ තහනම සිදුකර තිබේ. අදාළ මරණය ගාල්ල අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා ඇතුළු පිරිස විසින් සිදුකරන ලද්දක් බව ඇඟවෙන ආකාරයෙන් පසුගිය මැයි 28 වැනිදා කරන්දෙණිය පොලිසියේ තොරතුරු සටහන් පොත්වල අසත්‍ය සටහන් තැබීම, දරුණු ගණයේ අපරාධ විසඳීම පැහැර හැරීම සහ අනවශ්‍ය කරුණු පොලිස් පොත්පත්වල ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසද දැනුම් දී ඇත.
ගිං ගඟෙන් සොයාගත් මෘත ශරීරයට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වගකිව යුතු බවට හඟවමින් පුද්ගලයකුගේ මුහුණු පොත ඔස්සේ වීඩියෝවක් පළකර තිබූ අතර, එහි ගාල්ල දිසා අපරාධ කොට්ඨාස පරිශ්‍රයේ තාප්පයක කැඩුණු කණුවක කොටසක් සහ භෝජනාගාරයේ ඇතුළත භාණ්ඩ තබන කාමරයක ඡායාරූප ඇතුළත්ව තිබී ඇත. මෙම ඡායාරූප, අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ ඉල්ලීම මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අරක්කැමියකු විසින් ජංගම දුරකතනයෙන් ලබාගෙන වට්ස්ඇප් (WhatsApp) තාක්ෂණය ඔස්සේ ඔහු වෙත යොමුකර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම තොරතුරු හෙළිවීමත් සමඟ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් අතර, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.