
හම්බන්තොට වරාය තුළ පැනවී ඇති අධික රඳවා ගැනීමේ ගාස්තු හේතුවෙන්, ආනයනකරුවන් විසින් මෙරටට ගෙනෙන ලද සුඛෝපභෝගී මෝටර් රථ දහසකට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර නොගෙන වරාය පරිශ්‍රයේම අතහැර දමා ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ නිකරුණේ ගාල් කර තැබීම නිසා එකී වාහන විශාල ප්‍රමාණයක් දැනටමත් විනාශ වෙමින් හා දිරාපත්වෙමින් පවතින බව ද වාර්තා වේ.
හම්බන්තොට වරායේ දැනට වාහන 40,000 කට ආසන්න සංඛ්‍යාවක් ගාල් කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ප්‍රතිඅපනයනය සඳහා ගෙන ආ ඒවා හෝ යුදමය තත්ත්වයන් හමුවේ ඩුබායි ඇතුළු විදේශීය ගමනාන්ත වෙත යැවීමට නොහැකිව තාවකාලිකව ගොඩබස්වන ලද වාහන වේ. ප්‍රතිඅපනයනය සඳහා හම්බන්තොටට ළඟා වූ වාහන ඇතුළු මෙම සියලු වාහන ද එකී අසාධාරණ රඳවා ගැනීමේ ගාස්තු අර්බුදයට මුහුණ පා සිටී.
මීට වසර හයකට පමණ පෙර රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කළ දේශීය ආනයනකරුවෙකු, මෑතකදී එය වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී රුපියල් කෝටි පහකට ආසන්න රඳවා ගැනීමේ ගාස්තුවක් අය කර ඇත. ඒ අනුව එකී වාහනයේ සමස්ත පිරිවැය රුපියල් කෝටි හතක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය එහි මුල් වටිනාකම මෙන් තෙගුණයකට ආසන්න අගයකි. අධික රඳවා ගැනීමේ බද්ද පිළිබඳව දැනගැනීමෙන් දැඩි ලෙස විමතියට පත් ආනයනකරු, ඒ පිළිබඳව රේගුව දැනුවත් කර එකී දැවැන්ත පිරිවැය හේතුවෙන් වාහනය නිදහස් කර ගැනීම මුළුමනින්ම අත්හැර දමා තිබේ.
මෙවැනි බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ හම්බන්තොට වරායේ පරිපාලන කටයුතු චීන සමාගමක් යටතට පත්වීමෙන් පසුව බව රේගු නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. මෙවැනිම අකරතැබ්බයන්ට මුහුණ පෑ වාහන විශාල ප්‍රමාණයක් වරායේ ගාල් කර ඇති අතර, අදාළ බදු මුදල් දැරීමට නොහැකි වීම හේතුවෙන් බොහෝ ආනයනකරුවන් තම වාහන මෙලෙස අතහැර දැමීම නිසා ඒවා දිරාපත්ව යමින් පවතී.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ මෙකී තත්ත්වය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම දැනුවත් බවත්, ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා හම්බන්තොට වරාය පරිපාලනය සමග මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවත්ය. විශේෂයෙන්ම අදාළ සිද්ධියට මුහුණ පෑ මෝටර් රථය ගෙනවිත් ඇත්තේ චීන සමාගම වරාය පාලනය භාර ගැනීමට පෙර වුවද, පසුව දිනෙන් දින එකතු වූ රඳවා ගැනීමේ ගාස්තු හේතුවෙන් මෙලෙස අතිවිශාල මුදලක් ගොඩනැගී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.