රේගු ආඥා පනත කඩකිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින House of Fashions ප්‍රකට ඇඟලුම් අලෙවි ආයතන හිමිකරුවෙකු වන ප්‍රියලාල් බන්දුල ප්‍රීති ජයවර්ධන නමැති සැකකරු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව සැකකරු ලබන අගෝස්තු 06 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
රේගු අධිකාරිය පවරා ඇති මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශ්වය දැක්වූ මූලික විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට කළ ඉල්ලීම ද ඉවත දමන ලදී.වගඋත්තරකාර සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල වටිනාකම රුපියල් මිලියනය ඉක්මවන බැවින්, රේගු ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුව ඇපදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණය සතු නොවන බව මෙහිදී පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, ඇප ලබාගැනීම සඳහා මහාධිකරණය හමුවට යා යුතු බව සඳහන් කළේය. එමෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේදී විමර්ශනයට ප්‍රමාණවත් නඩුකරයක් පවතින බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වන වගන්තිය යටතේ සැකකරු මුදාහැරීමට විත්තිය කළ ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ සැකකරු රේගු විමර්ශන සඳහා ප්‍රමාණවත් සහායක් ලබා දී නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් වැරදි රැසක තොරතුරු අනාවරණය වූ බවයි. චීන සමාගමක් හරහා භාණ්ඩ ගෙන්වීම සඳහා මුදල් යවා තිබුණ ද මෙතෙක් ගෙන්වා ඇති භාණ්ඩ මොනවාදැයි තහවුරු වී නොමැති බවත්, අදාළ චීන සැපයුම්කරු වෙත මෙරට ආයතන 30ක් මුදල් ආයෝජනය කර තිබුණ ද කිසිදු භාණ්ඩයක් මෙරටට ලැබී නොමැති බවත් හෙතෙම පැවසීය. මේ වන විට රුපියල් මිලියන 500කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍යව ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතිඥ චමින්ද අතුකෝරල යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරමින් තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස හෝ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බැවින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට ඇප දීමට තමන්ට නීතිමය බලයක් නොමැති බව තීන්දු කරමින් විත්තියේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර, සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු අගෝස්තු 06 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළේය.