rakitha-charit-and-vimals-brother-get-bail

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමැත්තාගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. මෙලෙස ඇප ලබාදුන්නේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ මෙන්ම ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයටයි.




අද පෙරවරුවේ අදාළ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. එහිදී එක් සැකකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා, ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවන ලදී.

ඊට අමතරව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ මහතා ද ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර ඇත.