today-28-and-friday-31-traffic-in-colombo-is-being-informed

පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල් කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන 152 වන වාර්ෂික වේල් උත්සවයට සමගාමීව වීදි සංචාරය කරන රිදී රථ පෙරහැර හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මෙම පෙරහැර ජූලි මස 28 සහ 31 යන දිනයන්හිදී පැවැත්වෙන බැවින්, එම කාලසීමාව තුළ අදාළ මාර්ග භාවිත කිරීමෙන් වැළකී හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරමින් සහය ලබා දෙන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ සාමාන්‍ය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.




මෙම රිදී රථ පෙරහැරේ පළමු ගමන් වාරය ජූලි මස 28 වැනිදා උදෑසන 7:30ට පමණ පිටකොටුව මුහුදු වීදියේ පිහිටි කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වීමට නියමිත අතර, එය රාත්‍රී 8:30 පමණ වන තෙක් විවිධ මාර්ග ඔස්සේ වීදි සංචාරය කරමින් බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල වෙත ළඟා වනු ඇත. පෙරහැරේ ගමන් මාර්ගය මුහුදු වීදියෙන් ආරම්භ වී ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ඛාන් වටරවුම, වයි.එම්.බී.ඒ. හන්දිය, ලේඩන් බැස්ටියන් මාවත, යෝර්ක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැදපාර, ගාලුමුවදොර වටරවුම සහ ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය හරහා බම්බලපිටියට ගමන් කිරීමට නියමිතව තිබේ. කාලසටහනට අනුව පෙරවරු 10:30 පමණ වන තෙක් පෙරහැර මුහුදු වීදිය හා කයිමන් දොරටුව ඔස්සේ ප්‍රධාන වීදියට ගමන් කරන අතර, අනතුරුව පෙරවරු 11:30 දක්වා ප්‍රධාන වීදිය සහ ලේඩන් බැස්ටියන් මාවතේ ගමන් කරනු ඇත. පසුව පස්වරු 1:00 සිට 3:00 දක්වා කාලය තුළ ජනාධිපති මාවත ඔස්සේ ගාලුමුවදොර පිටිය වෙත පැමිණෙන රථ පෙරහැර, පස්වරු 3:00 සිට 4:30 දක්වා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, සංචාරක දෙපාර්තමේන්තුව සහ අරලියගහ මන්දිරය අසලින් ගමන් කිරීමට සැළසුම් කර ඇත. ඉන් පසුව පස්වරු 5:00ට පමණ ගාලු පාරට පිවිසෙන පෙරහැර කොල්ලුපිටිය සහ බම්බලපිටිය හරහා ගමන් කරමින් රාත්‍රී 7:00ට කතිරේෂන් කෝවිලටත්, රාත්‍රී 8:30 පමණ වන විට ගමනාන්තය වන බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලටත් ළඟා වීමට නියමිතය.

උත්සවයේ මීළඟ අදියර ලෙස ජූලි මස 31 වැනිදා බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලෙන් යළිත් පෙරහැර ආරම්භ කෙරෙන අතර එය පිටකොටුව මුහුදු වීදියේ පිහිටි කතිරේෂන් කෝවිල දක්වා ගමන් කිරීම සිදු කෙරේ. එදින උදෑසන 8:00ට පමණ ආරම්භ වන මෙම පෙරහැර මධ්‍යම රාත්‍රී 12:30 දක්වාම කොළඹ ප්‍රධාන මාර්ග ඔස්සේ වීදි සංචාරය කරනු ලබයි. එය බම්බලපිටිය කෝවිලෙන් පිටත්ව ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිටිය වෙතද, ඉන් අනතුරුව ගාලුමුවදොර සෙන්ට්‍රල් පාර, චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලේඩන් බැස්ටියන් මාවත, ප්‍රධාන වීදිය, මුහුදු වීදිය, කතිරේෂන් වීදිය, ක්‍රොස් වීදිය, අන්දිවාල් වීදිය සහ කයිමන් දොරටුව යන මාර්ග ඔස්සේ ගමන් කරමින් යළිත් පිටකොටුව නව කතිරේෂන් කෝවිල වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.