අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළ පරීක්ෂණවල වර්තමාන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පැවැති සාකච්ඡාවක් වාර්තා කිරීම මුල් කරගනිමින්, බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති අදාළ ළමා අපචාර චෝදනාව සම්බන්ධයෙන් කෙරුණු එම වාර්තාකරණය පදනම් කරගෙන, බීබීසී සිංහල වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක යන මහත්වරුන් ජූලි 23 වන දින පස්වරු 2.00 ට කථානායකවරයාගේ නියෝගයක් මත මෙලෙස කමිටුව හමුවට කැඳවා තිබිණි.මෙම කැඳවීම සිදුවීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) සඳහන් කර සිටියේ, මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව වෙත කැඳවීම යනු සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම බියගැන්වීමට සහ වාරණය කිරීමට දැරූ දැඩි උත්සාහයක් බවයි. පාලනමය දුර්වලතා වසාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අවිධිමත් වාරණ මෙවලමක් ලෙස යොදාගැනීම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වූ සෘජු තර්ජනයක් බව එම සංවිධානයේ කැඳවුම්කරු සම්පත් සමරකෝන් මහතා පෙන්වා දී තිබුණි.
අදාළ සිදුවීමට පදනම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු නිල වශයෙන් ප්‍රකාශන තහනම් කිරීමේ බලතල සහිත ව්‍යවස්ථාපිත කමිටුවක් නොවන බැවින් එහි තොරතුරු වාර්තා කිරීම වරප්‍රසාද කැඩීමක් ලෙස සැලකීම පදනම් විරහිත බව ද අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවධාරණය කළේය. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අයිතිය අහෝසි කිරීමට බලපෑම් කිරීම තුළින් සිදුවන්නේ ක්ෂේත්‍රය පුරා ස්වයං-වාරණයක් නිර්මාණය වී දූෂණ හා බලය අනිසි ලෙස යෙදවීම් පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට ලැබීම ඇණහිටීම බව පෙන්වා දුන් එම සංවිධානය, මෙම කැඳවීම වහාම අත්හිටුවන ලෙස ද ඉල්ලා සිටියේය.