චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 200 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ කොල්ලුපිටිය පොලිසිය හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලකෑම සිදුව ඇත්තේ ඉකුත් ජූලි 13 වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේදීය. එහිදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකින් ගමන් කරමින් සිටි චීන ජාතිකයෙකු නවතා, ඔහුගේ ගමන් බලපත්‍ර සහ ලේඛන පරික්ෂා කරන මුවාවෙන් රුපියල් මිලියන 200 ක් අඩංගු බෑගය රැගෙන පලාගොස් තිබේ. එම මුළු සිදුවීමම අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවල සටහන්ව තිබුණි.
අපරාධය සිදුවන අවස්ථාවේදී අසල මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි කොල්ලුපිටිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම කොල්ලකෑම දැක වහා ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම අපරාධය තමන් තනිව සිදුකළ බව අදාළ සැකකරු මුලදී ප්‍රකාශ කළද, විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ දුරකථන වාර්තා විශ්ලේෂණය ඔස්සේ තවත් සැකකරුවන් සිව්දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඊට අදාළව පසුව තවත් චීන ජාතිකයෙකු ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත. සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කොල්ලකන ලද මුදල් එකිනෙකා අතර බෙදාගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් අසල ස්ථානයක රැඳී සිට ඇති අතර, පළමු සැකකරු අත්අඩංගුවට පත්වූ බව දැනගැනීමත් සමඟ ඔවුන් එතැනින් පලාගොස් ඇති බවයි. පසුව මෙලෙස පලාගිය හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා පොලිසිය හමුවට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්විය.