ජනාධිපතිවරයාගේ පරිහරණය සඳහා වෙන්කර තිබූ විශේෂ ගිලන් රථයක් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සහ රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රෝගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වඩාත් විධිමත් හා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය නායකයා වෙනුවෙන් වෙන් කර තිබූ මෙම 'නිසාන්' (Nissan) වර්ගයේ ගිලන් රථය මීට පෙර අනුයුක්ත කර තිබුණේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙතය. කෙසේ වුවද, එම රථය සක්‍රිය ලෙස රාජකාරි කටයුතුවලට යොදා නොගැනීම හේතුවෙන්, මෙරට පොදු සෞඛ්‍ය සේවාවේ පවතින අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබිණි.
මේ පිළිබඳ නිල පැවරීමේ කටයුතු පසුගිය ජුනි 30 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එහිදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ ගිලන් රථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. ඉන් අනතුරුව අමාත්‍යවරයා විසින් එම වාහනය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර සේවාවන් සඳහා යොදාගැනීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත පිරිනමනු ලැබීය.
මෙම නිල අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් සහ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ මුදිත විමලසේන යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.