sri-lanka-fails-to-meet-imf-targets-after-fourth-review

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා නියම කර තිබූ විදේශ සංචිත පිළිබඳ දර්ශක ඉලක්කය සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ. දැඩි ණය වර්ධනය සහ ස්වැප් (swaps) යාන්ත්‍රණය හරහා වෙළෙඳපොළට ද්‍රවශීලතාව එක්කිරීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ අවසන් වරට ප්‍රකාශයට පත් කරන ලද කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, සිව්වන සමාලෝචනයෙන් පසුව විදේශ සංචිත සඳහා මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 593 ක ඉලක්කයක් නියම කර තිබුණි. පසුව එම ඉලක්කය ඇමෙරිකානු ඩොලර් මිලියන 485 දක්වා පහත හෙළන ලද නමුත්, ශ්‍රී ලංකාවට සැබවින්ම රැස්කර ගැනීමට හැකිවී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 426 ක සංචිත ප්‍රමාණයක් පමණි.




වැඩසටහනේ පූර්ව අදියරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය වත්කම් ඉලක්කය වෙනස් නොකර ස්ථාවර මට්ටමක තබා ගැනීම හේතුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පුරෝකථනය කරන ලද දූල්‍ය සංචිත ප්‍රමාණය රැස්කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. මූල්‍ය අරමුදලේ අවසන් ද්විත්ව සමාලෝචනයෙන් පසුවද මහ බැංකුවේ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 2,510 ක මට්ටමේ ස්ථාවරව නියම කර ඇත.

මහ බැංකුව විසින් ඩොලර් මිලදී ගැනීමේදී මුදල් අච්චු ගැසීම සිදුවන අතර, එය මහා භාණ්ඩාගාරයේ ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් වේ. එලෙස අලුතින් නිර්මාණය වන රුපියල් ප්‍රමාණය දේශීය වත්කම් අලෙවි කිරීම හරහා ආපසු නොගන්නේ නම්, රැස්කර ගන්නා සංචිත සුරක්ෂිතව පවත්වා ගැනීමට මහ බැංකුවට හැකියාවක් නැත. කෙසේ වෙතත්, තමන් සතු රජයේ බැඳුම්කර කළඹ සඳහා ලැබෙන කූපන් ගෙවීම් (පොලී) සහ සංචිත මුදල්වල සිදුවන ඕනෑම වැඩිවීමකට සමාන ප්‍රමාණයකට පමණක් සංචිත රඳවා ගැනීමට මහ බැංකුවට ඉඩ සැලසේ.




මහ බැංකුව වෙනුවට මහා භාණ්ඩාගාරය විසින් විදේශ සංචිත රැස්කිරීමේ කාර්යය භාරගත යුතු බවට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. භාණ්ඩාගාරය මගින් සංචිත රැස්කිරීමේදී අලුතින් මුදල් නිර්මාණය වීමක් සිදු නොවන අතර, එමගින් මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට ඇති ඉඩකඩ අහෝසි වේ. පසුගිය වසර පුරා සිදු වූවාක් මෙන් මුදල් නෝට්ටුවල අගය බාල කරමින් දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීමට ඇති ඉඩකඩ වැළැක්වීමටද එම පියවර හේතුවනු ඇත.