කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් පසුව පැහැරගෙන ගොස් අතුරුදන්ව සිටි චීන ජාතිකයෙකුගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබේ. මුදල් ආරවුලක් මුල් කරගනිමින් හටගත් මෙම ගැටුමේදී තවත් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා මෙලෙස ඝාතනය කර කැලෑවට දමා තිබියදී පොලීසිය මඟින් සොයාගන්නා ලදී.
වරාය නගරයේ මුහුදු තීරයේ මාළු බාමින් සිටි අවස්ථාවක මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී ප්‍රතිවාදී කණ්ඩායම විසින් මෙම පුද්ගලයා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය. සිද්ධිය වූ ස්ථානය අසල දමා ගොස් තිබූ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී වායු පිස්තෝලයක් ද සොයාගැනීමට කොළඹ වරාය පොලීසිය සමත් වී ඇත. යම් සංවිධානාත්මක මුදල් ජාවාරමක් හෝ පෙර සිදුවූ ගනුදෙනුවක් සඟවා ගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සහ ඝාතනය සිදුකර ඇත්දැයි යන්න පිළිබඳව පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වේ.
මේ අතර, අදාළ ඝාතන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන වයස අවුරුදු 34 සහ 38 යන වයස්වල පසුවන චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හරහා සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයකට ගොඩවීමට පස්වරු 4.30 ට පමණ පැමිණි අවස්ථාවේදී, ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාර දී ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, සිද්ධිය පිළිබඳ පූර්ණ හා විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු කඩිනමින් අනාවරණය කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසියෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ. එමෙන්ම මෙරට වෙසෙන සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහ නීතිමය අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට සිය පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් තානාපති කාර්යාලය වැඩිදුරටත් උපදෙස් දී ඇත. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.