saleh-is-a-real-hacker---in-the-description-given-in-court-with-the-password-release-order

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සතු ජංගම දුරකථනයේ සහ 'ලැප්ටොප්' පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් හතක් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කතෝලික පල්ලි සහ තරු පන්ති හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාර මාලාවේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර මහතාගෙන් ඉවත් කර වෙනත් අංශයකට පවරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම ද මෙහිදී ප්‍රතික්ෂේප වූ කරුණු අතර වේ.




පිටු 23කින් සමන්විත මෙම නියෝගය විවෘත අධිකරණයේදී කියවා ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, ඉදිරි නඩු දිනයේදී සැකකරුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරන ලෙසද නියම කළේය. ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2026 පෙබරවාරි 28 වැනිදා මුලින්ම නිකුත් කළ රැඳවුම් නියෝගය, පසුව 2026 මැයි 27 වැනිදා දීර්ඝ කර ඇති බවත්, ඒ අනුව සැකකරු රහස් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ යුතු බවත් අධිකරණයේදී සඳහන් විය. මෙම විමර්ශනය අතිශය සංකීර්ණ එකක් වන බැවින් නීතිපතිවරයා විසින් සෘජුවම එහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. විමර්ශන නිලධාරීන් ඉතා හොඳින් හා කාර්යක්ෂමව තම රාජකාරී ඉටු කරන බවත්, ඔවුන් තමන්ට හොඳින් සලකන බවත් සැකකාර සුරේෂ් සලේ මහතා මීට පෙර පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර තිබීම හේතුවෙන් විමර්ශන කණ්ඩායම වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව මහේස්ත්‍රාත් අමරසේන මහතා අවධාරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 (1) වගන්තිය යටතේ නිකුත් කර ඇති රැඳවුම් නියෝගයක් ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් උසාවිය, පිටස්තරින් පොත්, පත්තර හෝ සඟරා සැකකරු වෙත ලබා දීමට කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. රහස් පොලිස් පුස්තකාලයේ ඇති කියවීම් ද්‍රව්‍ය පරිශීලනය කිරීමට දැනටමත් අවස්ථාව දී ඇති අතර, පිටතින් ද්‍රව්‍ය ගෙන ඒම මඟින් අනවශ්‍ය තොරතුරු සන්නිවේදනය වීමේ අවදානමක් පවතින බව පොලිසිය පෙන්වා දී තිබේ. එමෙන්ම සැකකරු සියදිවි හානිකර ගැනීමේ අවදානමක් පවතින බවට කරුණු හෙළි වී ඇති බැවින්, පෑනක් ලබා දීමෙන් ඔහු යම් අනතුරක් කර ගැනීමට ඉඩ ඇති බව පවසමින් පෑනක් ඉල්ලා සිටීමද අධිකරණය ප්‍රතික්ෂේප කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ, සැකකරු අපරාධයට අදාළ නොවන බාහිර තොරතුරු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටීම විමර්ශනවලට බාධාවක් විය හැකි බැවිනි.




පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සමඟ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සුරේෂ් සලේ මහතා දක්ෂ 'හැකර්වරයකු' ලෙස හැඳින්වීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ වාහනයේ තිබී සොයාගත් ජංගම දුරකථනය සහ 'ලැප්ටොප්' පරිගණකය ඔහුගේ දියණියගේ බව පැවසුවද, විමර්ශනවලදී ඒවා ඔහු සතු ඒවා බව තහවුරු වී ඇත. මෙම උපාංග දෙක එකිනෙකට අන්තර් සන්නිවේදනයෙන් තොරව විවෘත කළ නොහැකි බැවින් විමර්ශන සඳහා රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වෙත ඒවායේ මුරපද ලබා දීම අත්‍යවශ්‍ය බව ඒ මහතා කීය. සැකකරු සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් පැනවීමෙන් අනතුරුව ඔහු ස්වයං උපවාසයක් ආරම්භ කර ඇති බවත්, වෛද්‍යවරුන් විසින් නාසයෙන් දැමූ බටයක් මාර්ගයෙන් ඔහුට ආහාර සහ විටමින් ලබා දෙන බවත් හෙළි කළ දිලීප පීරිස් මහතා, විමර්ශන අවසන් වනතුරු සැකකරුට මියයෑමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනකු පසුගිය කාලයේ මාධ්‍ය සාකච්ඡාවලදී සිදුකළ ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස කර ඇති බවත්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් පැමිණිල්ල පාර්ශ්වයෙන් දැනුම් දෙන ලදී. මීට අදාළව මාධ්‍ය ආයතන දහයකින් සංස්කරණය නොකළ දර්ශන ලබා ගැනීමට රහස් පොලිසියට මීට පෙර අවසර දී තිබුණි. මේ අතර, සැකකරු බැලීමට ගොස් පැමිණි උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශවලින් බෞද්ධ හා කතෝලික ආගම් අතර ගැටුමක් ඇති විය හැකි බවත්, සාක්ෂිකරුවන්ට තර්ජන එල්ල වන බවත් මුල් පැමිණිල්ල කළ රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ද පෙරේරා මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ කඩිනමින් පරීක්ෂණ පවත්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.



වින්දිතයන් වෙනුවෙන් නඩු කටයුත්තට මැදිහත් වීමට බලපන්ති ලුතිනන්වරයකු කළ ඉල්ලීමට පැමිණිල්ල සහ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළ කළ අතර, ඒ පිළිබඳ නියෝගය ඉදිරි දිනයකට කල් තැබුණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින්, උපාංගවල මුරපද ඉල්ලීම නීති විරෝධී බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සැකකරුවකුට පවතින නිහඬව සිටීමේ අයිතිය සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සුරැකිය යුතු බවත් කියා සිටියේය. කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ උසාවිය මුරපද ලබා දෙන ලෙස සැකකරුට නියම කළ අතර, සිද්ධියේ අනෙකුත් සැකකරුවන් වන යසිත් බාවා, ජෙහීර් බාත් සහ සරත් සමන්ත යන අයද ඇතුළුව සියලු සැකකරුවන් එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලෙසත්, එදිනට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.