
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'හරක්කටා' නමැති නඳුන් චින්තකගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින සැකකරුවන් තිදෙනා ලබන ජූලි 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේය. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන අය මෙලෙස යළි රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ වෙති.
මෙම නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට දන්වා සිටියේ, අදාළ සැකකරුවන් සමඟ සබඳතා පැවැත්වූ භික්ෂූන් වහන්සේනමක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බවයි. සැකකරුවන් ලබාගත් අල්ලස් මුදලින් කොටසක් මෙම හිමිනම හරහා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් වෙත ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇය සඳහන් කළාය.
විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී මෙම සිදුවීමට සම්බන්ධ බවට නම් කියැවුණු පුද්ගලයන් අතර පමණක් දුරකථන ඇමතුම් 1,300කට අධික සංඛ්‍යාවක් හුවමාරු වී ඇති බව හෙළිවී තිබේ. එමෙන්ම මෙම අල්ලස් ලබාගැනීමේ සිද්ධියට ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර, මුදල් බෙදාහැරීමට මැදිහත් වූ බව කියන භික්ෂූන් වහන්සේ කවුදැයි මේ වන විට අනාවරණය කරගෙන ඇත. ඒ පිළිබඳව කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි දිනයකදී අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.
මීට අමතරව, මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් වෙනත් අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව ද මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ දින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සහ දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප සම්බන්ධ නියෝගය ලබන ජූලි 28 වනදා ප්‍රකාශයට පත් කරන තෙක් සැකකරුවන් යළි රිමාන්ඩ් කිරීමට නියම කළේය.