පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිදුවීම සුනාමි ව්‍යසනයට සමාන තත්ත්වයක් බවත්, එහිදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මානුෂීය පියවරක් ගැනීමට බලධාරීන්ට හැකියාව තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. යූටියුබ් නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසන අවස්ථාවේදී මාතර බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කරන ලද පියවර ආදර්ශයට ගනිමින්, මීගමුව බන්ධනාගාරයේ ද දොරටු විවෘත කර රැඳවියන්ට පිටතට යාමට ඉඩ ප්‍රස්තාව සලසා දිය යුතුව තිබූ බවයි. එවැනි තීරණයක් ගැනීමෙන් කිසිදු හානියක් හෝ අවදානමක් සිදු නොවන බව පෙන්වා දෙන ඒ මහතා, සිරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අංක ද බලධාරීන් සතුව පවතින බැවින් ඔවුන් පිළිබඳ සොයා බැලීමේ හැකියාව පවතින බව ද සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු දැක්වූ සෘජු අදහස් මෙසේය; “ඊයේ පෙරේදා මිගමුවේ සිද්ධිය බලන්නකො. සුනාමියක් වගේනේ ඒ සිදුවීම. සුනාමියේදී මොකක්ද කළේ? මොකක්ද සුනාමි ආපු වෙලාවේ මාතර සිරගෙදර කළේ? මාතර හිරගෙදර ඇරලා ඔක්කොටම ගෙදර යන්න කිව්වා.ඔනේ නම් ගණන් හදලා බලන්න. සේරම ගෙදර ගියා. මාස දෙකකට විතර පස්සේ කට්ටියට ආපහු වාර්තා කරන්න කිව්වා කිට්ටුම පොලිසියට ගිහිල්ලා රිපෝට් කරන්න කිව්වා.මට මතක විදිහට හිරකාරයෝ 5 දෙනෙක් වගේ තමයි මිසිං වුණේ.”
රඳවියන්ගේ ජීවිත අහිමි කිරීම වෙනුවට ඔවුන්ට බන්ධනාගාර දොරටු විවෘත කර පිටව යාමට ඉඩ දුන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සිරකරුවන්ගේ අනන්‍යතා තොරතුරු බලධාරීන් සතු බැවින් ඔවුන්ට රටින් පිටවීම වැළැක්වීම සඳහා එම තොරතුරු ගුවන්තොටුපොළ වෙත ලබා දීමේ හැකියාව තිබූ බවත්, බන්ධනාගාරයෙන් පිටවීමට සතියක කාලයක් ලබා දුන්නේ නම් එකදු සිරකරුවෙකුවත් මිය නොයන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.