dengue-deaths-rose-to-53-with-3-yesterday

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර ගතවූ පැය 24 ක කාලය තුළ පමණක් එම රෝගය හේතුවෙන් පුද්ගල මරණ 3ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව, මේ සමඟ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇත.




මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000ක සීමාවට ආසන්න වෙමින් පවතී. ඒ අනුව ඊයේ (17) වනවිට මෙරටින් හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 74,478ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉන් රෝගීන් 19,100 දෙනෙකුම වාර්තා වී ඇත්තේ ජුලි මාසයේ ගෙවීගිය දින 17ක කාලය තුළදී වීම කැපී පෙනෙන තත්ත්වයකි.

පවතින වාතාවරණය හමුවේ තවදුරටත් දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කලාපය බවට බස්නාහිර පළාත පත්ව තිබේ. ඉන් ඉහළම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 15,596ක් දක්වා ඉහළ ගොස් ඇත.