negombo-prison-investigations-in-a-new-direction-with-the-discovery-of-a-bag-of-iron-knives

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ අභිරහස් සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි කිරීමකදී පිහිතල, යකඩ ආයුධ සහ මීගමුව ප්‍රදේශයේ මාළු කැපීම සඳහා භාවිතා කරන වර්ගයේ කුඩා මන්නා පිහි අඩංගු බෑගයක් සොයාගෙන තිබේ.

දැනට අධිකරණ නඩු භාණ්ඩ බවට පත් කර ඇති මෙම ආයුධ සියල්ල තැන් තැන්වලින් සොයාගත් ඒවා නොව එකම මල්ලක බහා තිබීම හේතුවෙන්, මේවා බන්ධනාගාරය තුළට රැගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ට බරපතල ගැටලුවක් මතු වී ඇත. මෙමඟින් කිසියම් අපරාධයක් සඳහා පූර්ව සූදානමක් සහ සංවිධානාත්මක ස්වරූපයක් තිබූ බව පැහැදිලි වන බව විමර්ශන අංශ පවසයි.




මෙම සිදුවීමේදී බන්ධනාගාරයේ සිටි සීමිත සංඛ්‍යාවක් වූ ජේලර්වරුන්ට හෝ නියාමකවරුන්ට කිසිදු පහරදීමක් හෝ තුවාල වීමක් සිදු වී නොමැති අතර, බන්ධනාගාර පොලිස් නිලධාරීන් හත් අට දෙනෙකුට රැඳවියන් විසින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබේ. එහිදී එම නිලධාරීන්ව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර, සිරුරේ රහස් ප්‍රදේශ කපා දමමින් ඉතා දරුණු ලෙස තුවාල සිදු කර ඇති බව අනාවරණය වේ. සුරේෂ් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙය කලින් සූදානම් කළේද යන්න සහ බන්ධනාගාර පාලනාධිකාරියේ අනුදැනුමකින් තොරව මෙම ආයුධ ළඟ තබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බලයි. දැනට බන්ධනාගාරය තුළ ඇති සියලුම සීසීටීවී දර්ශන කුඩුපට්ටම් කර විනාශ කර ඇති බැවින්, කිසිදු ඡායාරූපයක් හෝ තොරතුරක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් හැකියාවක් ලැබී නැත. එම විනාශ වූ දත්ත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග මත කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය වෙත හෝ වෙනත් ස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.

දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලෙස පවතින්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශ පමණක් වන අතර, ඔවුන්ද පාලනාධිකාරිය තුළ සිටි පිරිස් බැවින් එම ප්‍රකාශ සියයට සියයක්ම පිළිගත නොහැකි බව විමර්ශන අංශ පවසයි. මෙම සිදුවීම පිටුපස බන්ධනාගාර නිලධාරීන් පිරිසක්ද සිටින බවට සැක කෙරේ. මේ අතර, රැඳවියන් 200ත් 300ත් අතර පිරිසකට ඝාතන චෝදනා එල්ල කර ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සනාථ කරයි. රැඳවියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පවා අධිකරණ නියෝගයක් අවශ්‍ය වන පසුබිමක, මෙතෙක් කිසිදු ඝාතන චෝදනාවක් එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමු වී නොමැති අතර රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද මෙතෙක් සූදානමක් නැත.




මේ අතර ගිං ගඟේ ගිල්වා වළලා දමා තිබූ අල්මේදා නමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. මේ වන විට සිර අංක 4755 යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන, මාකුඹුරේ කුලතුංග මාවතේ පදිංචි හේවාගේ විහංග දිනෙත් ජයසිංහ නමැති සිරකරුවෙකු විසින් 2026 ජූලි මස 01 වන දින ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් (Affidavit) මඟින් මෙම සිදුවීමට අදාළ නව තොරතුරු රැසක් අනාවරණය කර ඇත. ඔහු පවසන්නේ තමන් වෙනත් වරදක් සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ දින හතක රැඳවුම් නියෝග මත සිටි 2026 ජූනි 22 හෝ ඊට ආසන්න දිනකදී, රාත්‍රී 8:30ට පමණ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියෙකු විසින් තමන් සිටි කූඩුව අසලට පුද්ගලයෙකු රැගෙන ආ බවයි. එහිදී එම පුද්ගලයා මියගොස් සිටින තාරුක විරාජ් රශ්මික ද සිල්වා හෙවත් අල්මේදා බව තමන් හඳුනාගත් බවත්, ඔහු මීට පෙර අවස්ථා දෙකකදී තම නිවසට පැමිණ ඇති බවත් සිරකරු ප්‍රකාශ කර තිබේ. පසුව නිලධාරීන්ගේ විමසීමකට අනුව සිරකරුගේ නිවසේ තිබූ විරාජ්ට අයත් කමිස දෙකක් සහ ඩෙනිම් කලිසමක්ද ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ඉන්පසු 2026 වසරේ 20 වන දිනක ඔහුව හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද, තමන් යන එන තැන් පිළිබඳව පොලීසිය දින 22ක් තිස්සේ පසුපස හඹා ආ බව නිලධාරියෙකු පැවසූ බවද ඔහු ප්‍රකාශ කර සිටියි.

මෙම දිවුරුම් ප්‍රකාශය මඟින් අල්මේදා නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටි බව කියැවුණද, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය පවසන්නේ ජූනි 20 වන දින ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙළඳසැලක් අසලදී පිරිසක් විසින් ඔහුව පැහැරගත් බවයි. කෙසේ වෙතත්, පසුගිය ජූනි 21 සහ 22 යන දිනවල බහුතරයක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වූයේ විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දුන් බවයි. මෙම පරස්පරතා හේතුවෙන් අල්මේදා නමැත්තා ඝාතනය කළේ වෙනත් කල්ලියක්ද නැතහොත් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී සිදු වූවක්ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන දත්ත විමර්ශනයක් ආරම්භ කර ඇත. එසේම, මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු වාර්තා කළ මාධ්‍ය ආයතන වෙත එම තොරතුරු ලැබුණු ආකාරය පිළිබඳව ඉදිරියේදී අධිකරණය මාර්ගයෙන් තහවුරු කර ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට නියමිතය.

negombo-prison-investigations-in-a-new-direction-with-the-discovery-of-a-bag-of-iron-knives