school-students-allowed-to-wear-extra-clothes-to-uniform-due-to-dengue

පාසල් දූ දරුවන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම මඟහරවා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මදුරු දෂ්ඨනවලින් සිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, සාමාන්‍ය පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ පාද සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට දරුවන්ට අවසර දීමට තීරණය කර ඇත.




අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මඟින් මේ බව දැනුම් දී ඇති අතර, සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ගත යුතු මූලික පියවර දෙකක් ක්‍රියාවට නංවන ලෙස දිවයිනේ සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ. සිසුන් අතර ඩෙංගු උවදුර පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සියලුම පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී ඒ පිළිබඳව වන නිල උපදෙස් මාලාව නිකුත් කිරීමට නියමිතව ඇත. එමෙන්ම, මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් මදුරු විකර්ශක නිෂ්පාදන භාවිත කිරීමට සිසුන් දැනුවත් කරන ලෙස ද අදාළ නිවේදනය මඟින් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

school-students-allowed-to-wear-extra-clothes-to-uniform-due-to-dengue