මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු වාරියපොළ සහ පල්ලෙකැලේ බන්ධනාගාර වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.
ගජනායක මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම ස්ථාන මාරුකිරීම් යටතේ රැඳවියන් 33 දෙනෙකු වාරියපොළ බන්ධනාගාරයටත්, තවත් 40 දෙනෙකු පල්ලෙකැලේ බන්ධනාගාරයටත් යොමු කළ බවයි. මෙලෙස මාරු කරන ලද පිරිස අතර විදේශීය ජාතික කාන්තාවන් 28 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.පසුගිය 5 වැනිදා සහ 6 වැනිදා යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර හටගත් දරුණු ගැටුමෙන් බන්ධනාගාර දේපළවලට සිදු වූ බරපතළ හානි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත. මේ අතර, එහි සිටින පිරිමි රැඳවියන් ද අනෙකුත් බන්ධනාගාරවල පවතින ඉඩකඩ සහ පහසුකම් පිළිබඳව සොයා බලා ක්‍රමවත්ව වෙනත් ස්ථාන කරා යොමු කිරීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී.
මෙම නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එමගින් දන්වා ඇත්තේ කොමිසමේ නිලධාරීන්ට ඕනෑම බන්ධනාගාරයකට බාධාවකින් තොරව ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව සැලසිය යුතු බවත්, රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කළ යුතු බවත්ය. මීට අමතරව, සිද්ධියට අදාළ සියලු සාක්ෂි ආරක්ෂා කරමින්, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙසත්, ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙමින් රැඳවියන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවීම වගබලා ගන්නා ලෙසත් කොමිසම අවධාරණය කර ඇත.