
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරලි කාරී තත්ත්වය අතරතුර සිරකරුවන්ගේ ග්‍රහණයට නතුව අමානුෂික වධහිංසාවලට ලක්වෙමින් සිටි සහෝදර නිලධාරීන් පිරිසක් බේරා ගැනීමට සහ රැඳවියන් ප්‍රධාන දොරටුව කඩාගෙන පලායාම වැළැක්වීමට තීරණාත්මක ලෙස වෙඩි ප්‍රහාර එල්ල කළ බන්ධනාගාර නිලධාරියාට මේ වන විට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. ආරක්ෂක අංශ පවසන්නේ මෙම මරණ තර්ජන බොහොමයක් ඩුබායි රාජ්‍යය ඇතුළු විදේශ රටවල සිට දුරකථන මාර්ගයෙන් ලැබෙමින් පවතින බවයි.
තම ජීවිත අවදානම පවා නොතකා දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය සහ සහෝදර සගයන්ගේ ජීවිත බේරාගත් මෙම වීරෝදාර නිලධාරියාට වහාම නිසි ආරක්ෂාවක් සැපයිය යුතු බව බන්ධනාගාර සේවකයෝ අවධාරණය කරති. ඝාතනයට ලක්වූ නිලධාරීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා විෂයභාර ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ඊයේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී, එහි සිටි නිලධාරීන් ඇමැතිවරයා වටකර ගනිමින් එක hඬින් ඉල්ලා සිටියේ මෙම අනතුරට ලක්ව සිටින නිලධාරියාගේ ජීවිතය රැකගැනීමට වහාම මැදිහත් වන ලෙසයි.
එදින වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් සහ නිලධාරීන් අතර ඇති වූ ගැටුමේදී කලහකාරී සිරකරුවන් පිරිසක් බන්ධනාගාර ප්‍රධාන දොරටුව අවහිර කරමින් නිලධාරීන් කිහිපදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන දරුණු ලෙස පහර දෙමින් සිටියහ. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ මෙම නිලධාරියා දොරටුවෙන් ඇතුළතට තම අවිය එල්ල කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමත් සමඟ බියට පත් රැඳවියන් දොරටුව අතහැර පළා ගොස් තිබේ. ඉන් අනතුරුව වහාම දොරටු විවෘත කරගත් බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළට ගොස් ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීන් මෙන්ම තුවාල ලබා සිටි රැඳවියන් ද බේරාගෙන කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.