ජර්මනියේ බර්ලින් නුවර අධිකරණයක් විසින් සිය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදට 41 හැවිරිදි සහන සත්කාරක (palliative care) වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ජර්මානු රහස්‍යතා නීතිවලට අනුව 'ජොහැන්නස් එම්.' (Johannes M.) ලෙස හඳුන්වා ඇති මෙම වෛද්‍යවරයා විසින් 2021 සැප්තැම්බර් සහ 2024 ජූලි මාස අතර කාලය තුළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති බව අධිකරණයේදී ඔප්පු වී ඇත.
කෙසේ වෙතත්, විමර්ශන පවත්වන බලධාරීන් සැක කරන්නේ මෙම ඝාතන සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.මෙම සිදුවීම්වලින් මියගිය පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 94 ත් අතර පසු වූවන් වන අතර, ඔවුන් බරපතල ලෙස රෝගාතුරව සිටියද ආසන්න මරණ අවදානමක පසු නොවූවන් බව අධිකරණයේදී අනාවරණය විය. වෛද්‍යවරයා විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස්, රෝගීන්ගේ කිසිදු කැමැත්තකින් තොරව මාරාන්තික ඖෂධ සංයෝග ශරීරගත කර මෙම ඝාතන සිදු කර ඇති බවට පැමිණිල්ල පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි. එමෙන්ම, තමන් කළ අපරාධ වසන් කිරීම සඳහා ඔහු අවස්ථා කිහිපයකදීම අදාළ නිවෙස්වලට ගිනි තැබීමටද උත්සාහ කර ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර, එනම් 2024 ජූලි මාසයේ එක් දිනකදී පමණක් රෝගීන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඒ මධ්‍යම බර්ලින්හි පිහිටි නිවසකදී 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ඉන් පැය කිහිපයකට පසු අසල දිස්ත්‍රික්කයක ජීවත් වූ 76 හැවිරිදි කාන්තාවකි. එහිදී එම කාන්තාවගේ නිවසට ගිනි තබා සාක්ෂි විනාශ කිරීමට ඔහු උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබිණි. වසරක් පුරා පැවති නඩු විභාගයේ වැඩි කාලයක් නිහඬව සිටි වෛද්‍යවරයා, පසුගිය මාසයේදී තමන් බරපතල ලෙස රෝගාතුර වූවන් 12 දෙනෙකු ඝාතනය කළ බවට පිළිගත්තේය. තමන් එසේ කළේ ඔවුන්ගේ දුක සහ දුර්වලකම නැති කර සැමට යහපතක් කිරීමට යැයි සිතා බවත්, තමන් සිදු කළ සියලු පීඩාවන් වෙනුවෙන් සමාව අයදින බවත් ඔහු එහිදී පවසා ඇත.
මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවත් සැකකටයුතු මරණ 76 ක් පිළිබඳව මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය. මෙම චෝදනාද ඔප්පු වුවහොත්, මෙය ජර්මානු ඉතිහාසයේ වාර්තා වන විශාලතම අනුක්‍රමික මිනීමැරුම් සිදුවීම්වලින් එකක් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. නඩු විභාගය අතරතුරදී වින්දිතයන්ගේ ඥාතීන් දැඩි සංවේගයෙන් යුතුව අදහස් දැක්වූහ. 2021 වසරේදී මියගිය 25 හැවිරිදි ලාබාලතම තරුණියගේ මව කඳුළු සලමින් කියා සිටියේ තම දියණියට කිසිදිනෙක ජීවිතය එපා වී නොතිබූ බවයි. එමෙන්ම 2024 දී මියගිය 72 හැවිරිදි කාන්තාවකගේ පුත්‍රයා ප්‍රකාශ කළේ තම මවට සිය සහෝදරිය සමඟ සංචාරයක නිරත වීමේ සැලසුම් තිබූ බවත්, ඇයට තවදුරටත් ජීවත් වීමට දැඩි අවශ්‍යතාවක් තිබූ බවත්ය.
වෛද්‍යවරයාගේ වරදෙහි ඇති බරපතලකම සලකා බැලූ අධිකරණය, ඔහුට නියම වූ සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසුවද මහජන ආරක්ෂාව වෙනුවෙන් ඔහුව දිගටම රඳවා තබා ගැනීමට (preventive detention) නියෝග කළේය. මීට අමතරව, ඔහුට නැවත කිසි දිනෙක වෛද්‍ය වෘත්තියේ නිරත වීමට නොහැකි වන පරිදි ජීවිතාන්තය දක්වා පනවන ලද වෘත්තීය තහනමක්ද අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.