mulleriya-house-fire-killed-the-owner---was-it-a-murder-due-to-a-family-dispute-a-suicide

මුල්ලේරියාව, අංගොඩ, නාරංගොඩ පාරේ පිහිටි නිවසක සිදුවූ හදිසි ගින්නකින් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ. පසුගිය 30 වැනිදා අලුයම් කාලයේදී පිපිරීම් හඬක්ද සමඟින් මෙම ගින්න හටගෙන ඇති අතර, ඉන් බරපතළ ලෙස පිළිස්සුණු ගෙහිමියා එම ස්ථානයේදීම මියගොස් තිබේ.




මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ 56 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. ඔහු ගල්වාන ප්‍රදේශයේ ආහාර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ අයෙකු වන අතර තුන් දරු පියෙකු ද වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර, ඇය සඳහන් කර ඇත්තේ සැමියා සමඟ ඇති වූ අමනාපකමක් හේතුවෙන් තමන් දින දෙකක් තිස්සේ නිවසින් බැහැරව සිටි බවයි. මෙම යුවළ අතර නිතර ආරවුල් හටගෙන ඇති බවත්, ඒ පිළිබඳව මීට පෙරද පොලිස් පැමිණිලි පවත්නා බවත් අනාවරණය වේ. ඔවුන්ගේ දරුවන් තිදෙනාද නිරන්තරයෙන් මෙම නිවසට පැමිණ යන බව පොලිසිය පවසයි.




පොසොන් පොහෝ දින විවිධ දන්සල් වෙත ගොස් ඇති මෙම පුද්ගලයා මධ්‍යම රාත්‍රිය පසුවී නිවසට පැමිණ ඇත. අනතුරුව එදින රාත්‍රී 1.30 ට පමණ ඔහුගේ දියණියක ද නිවසට පැමිණ ඇති අතර, ඒ වන විටත් ඇයගේ පියා කාමරය තුළ නින්දට ගොස් සිටි බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා තිබේ.

පසුව අලුයම් කාලයේදී නිවසේ වහලයේ සෙවිලි තහඩු පිපිරෙන ශබ්දයත් සමඟ විශාල ලෙස ගින්නක් හටගන්නා අයුරු අසල්වාසීන්ට නිරීක්ෂණය වී ඇත. වහා ක්‍රියාත්මක වූ ඔවුන් වසා දමා තිබූ නිවසේ ගේට්ටු සහ දොර ජනෙල් කඩා දමමින් ඇතුළට වැදී ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වී තිබේ. කෙසේ වෙතත්, ඔවුන් නිවසේ කාමරය වෙත යන විටත් එහි වූ ඇඳක් මත ගෙහිමියා පිළිස්සී මියගොස් සිට ඇත.



මෙම මරණය තමන් විසින්ම සිරුරට ගිනි තබා ගැනීමෙන් සිදුවූවක් දැයි පොලිසිය සැක පළ කරයි. එසේ වුවද, මෙය සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් මිනිස් ඝාතනයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකය. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනආරච්චි ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරති.

mulleriya-house-fire-killed-the-owner---was-it-a-murder-due-to-a-family-dispute-a-suicide

mulleriya-house-fire-killed-the-owner---was-it-a-murder-due-to-a-family-dispute-a-suicide

mulleriya-house-fire-killed-the-owner---was-it-a-murder-due-to-a-family-dispute-a-suicide