every-person-who-gets-tin-number-is-not-liable-to-pay-tax

බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා ලබාදෙන සුවිශේෂී ‘ටින්’ (TIN) අංකය ලබාගත් සෑම පුද්ගලයකුම බදු ගෙවිය යුතු නැති බවත්, බදු පැනවීම සිදුවන්නේ රජය විසින් නියම කර ඇති ආදායම් සීමාවන් ඉක්මවා යන අයට පමණක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති කොමසාරිස් නන්දන කුමාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ මහතාට අනුව පසුගිය 2024 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරට පුද්ගලයන් ලක්ෂ 130කට (මිලියන 13කට) ආසන්න ප්‍රමාණයකට මෙම සුවිශේෂී අංකය නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇත. මෙම අංකය ලබාගැනීම සඳහා වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් තුළ පවතින්නේ ඉතා ඉහළ උනන්දුවකි.




මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසුව මෙරට බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 12කින් පමණ ඉහළ ගොස් ඇති අතර, බදු ගෙවීමට සුදුසුකම් ලබන ඇතැම් පුද්ගලයන් එම පද්ධතියට අනුකූල කරවා ගැනීම මෙම අංකය නිකුත් කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුවක් වී තිබේ. දැනට මෙරට ජනගහනයෙන් දළ වශයෙන් සියයට 40ක පමණ පිරිසක් බදු නොගෙවන මට්ටමේ පසුවන බව පෙන්වා දෙන බදු ප්‍රතිපත්ති කොමසාරිස්වරයා, වැට් බදු මඟින් අපේක්ෂිත ඉලක්කගත ආදායමෙන් සියයට 59ක් මේ වන විටත් උපයා ගැනීමට හැකි වී තිබෙන බවද සඳහන් කළේය. බදු ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක වීම තුළින් සමාජයේ එක් කොටසකට යහපත් ප්‍රතිලාභ හිමිවන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන මෙම ‘ටින්’ අංකය ඉලක්කම් 9කින් යුත් සුවිශේෂී අනන්‍යතාවක් වන අතර, එය ජාතික හැඳුනුම්පත් අංකය මෙන්ම බදුකරණයට අදාළ කටයුතුවලදී පමණක් භාවිත වන සුවිශේෂී සාධකයකි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම මෙම අංකය ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර, මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේද පහසුවෙන් මෙය ලබාගත හැකිය. වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන, එනම් මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන පුද්ගලයන් නිල වශයෙන් බදු ගොනුවක් (Tax File) විවෘත කළ යුතු වුවද, බදු ගෙවීමට සිදුවන්නේ අදාළ සීමාවන් ඉක්මවන්නේ නම් පමණි. එමෙන්ම ව්‍යාපාරිකයකු බදු ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 18කට වඩා ආදායමක් ලැබිය යුතු අතර, ඊට අඩු ආදායම් ලබන ව්‍යාපාර සඳහා කිසිදු බාධාවකින් තොරව ‘ටින්’ අංකය පමණක් ලබාගෙන තම කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවස්ථාව පවතී.




වර්තමානයේදී දෛනික සහ වෘත්තීයමය අවශ්‍යතාවන් රැසක් වෙනුවෙන් මෙම ‘ටින්’ අංකය ඉදිරිපත් කිරීම රජය විසින් අනිවාර්ය කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව බැංකුවල ජංගම ගිණුම් (Current Accounts) ආරම්භ කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ලබාගැනීමේදී, වාහන ලියාපදිංචිය මෙන්ම ඒවායේ හිමිකාරිත්වය පැවරීමේ කටයුතුවලදී මෙම අංකය අත්‍යවශ්‍ය වේ. මීට අමතරව ඉඩම් හෝ වෙනත් දේපළවල හිමිකාරිත්වය ලියාපදිංචි කිරීම, රේගු කටයුතු සහ විවිධ ව්‍යාපාරික බලපත්‍ර ලබාගැනීම වැනි රාජ්‍ය සේවාවන් රැසක් සපුරා ගැනීම සඳහා ද ‘ටින්’ අංකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වේ.