
සෞදි අරාබි මූල්‍ය ආධාර මත ඉදි කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීම සම්බන්ධයෙන් එම පීඨයේ ශිෂ්‍ය සංගමය සිය විරෝධය පළ කර සිටී. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය පසුගිය දින නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු කර තිබිණි.
එම විවෘත කිරීමේ අවස්ථාවට දේශපාලන අධිකාරිය සම්බන්ධ කර ගැනීමට එරෙහිව නිවේදනයක් නිකුත් කරන සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, මෙම පීඨය ස්ථාපිත කර ගැනීමට හැකි වූයේ සිසුන් අඛණ්ඩව කරගෙන ගිය අරගල සහ කැපවීම් හේතුවෙන් බව පවසයි. සිසුන්ගේ මෙවැනි සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ඉදි වූ පීඨයක් විවෘත කිරීමේ කටයුතු සඳහා දේශපාලන බලවේග මැදිහත් කර ගැනීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවද ඔවුහු එහි සඳහන් කරති.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීම සම්බන්ධ මූලික යෝජනාව 2007 වර්ෂයේදී ඉදිරිපත් වූ අතර, 2010 වසරේදී සිසුන් 150 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම බඳවා ගැනීමට ද සැලසුම් කර තිබුණි. එහෙත් පාලකයන්ගේ පවතින උදාසීන ක්‍රියාකලාපයන් හේතුවෙන් එම කටයුතු වසර ගණනාවකින් ප්‍රමාද වූ අතර, තමන්ට වෛද්‍ය පීඨයක් ලබාදෙන ලෙස ඉල්ලා සිසුන්ට දීර්ඝ අරගලයක නිරත වීමට සිදු වූ බව ඔවුහු පෙන්වා දෙති.
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහිව දියත් වූ සයිටම් (SAITM) විරෝධතා සහ සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මෙහෙයවූ අඛණ්ඩ ශිෂ්‍ය ව්‍යාපාරයන්හි ප්‍රතිඵලයක් ලෙස 2019 ජනවාරි 05 වන දින සබරගමුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨය හිමි විය. එසේ වුවද, නිසි යටිතල පහසුකම්වලින් තොරව ආරම්භ කරන ලද මෙම පීඨයට අවශ්‍ය පහසුකම් ඉල්ලා සිසුන් නැවතත් විරෝධතා ආරම්භ කළහ. මෙහිදී 2019 වසරේදී වෛද්‍ය පීඨයට ඇතුළත් කරගත් ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට 2023 වසරේදී සායනික පුහුණුව සඳහා යොමුවීමට නියමිතව තිබුණ ද, ඒ සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකකයක් නොමැති වීම නිසා ඔවුහු දැඩි අර්බුදයකට මුහුණ පෑහ.
ඊට තාවකාලික විසඳුමක් ලෙස වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව මහාචාර්ය ඒකකයක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ ද, එමඟින් වෛද්‍ය උපාධියේ වලංගුභාවය පිළිබඳ බරපතළ ගැටලු මතු විය. මෙම තත්ත්වයට එරෙහිව 2023 වර්ෂයේදී දියත් කරන ලද ශිෂ්‍ය උද්ඝෝෂණ ව්‍යාපාරයකදී මහා ශිෂ්‍ය සංගමයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සිසුන් විසි දෙනෙකු සිරගත කිරීමට පියවර ගැනුණු අතර මාලිගාවිල අධිකරණයේ පැවරුණු එම නඩු කටයුතු මේ වනවිටත් අවසන් වී නොමැත. කෙසේ වුවද, එම ශිෂ්‍ය බලපෑම් හමුවේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කඩිනම් වූ අතර, සෞදි අරාබි රජයේ ණය ආධාර මත ඉදි කෙරුණු වත්මන් නව වෛද්‍ය පීඨ සංකීර්ණය ශිෂ්‍ය අරගලවලින් දිනාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හදුන්වා ඇත.
විවිධ කාලවලදී පත් වූ රජයන් සමඟ ගැටෙමින් සිසුන් විසින් දිනාගන්නා ලද මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීමට නියමිතව ඇත. එහෙත් සිසුන්ගේ අරගල මත ගොඩනැඟුණු මෙම පීඨය විවෘත කිරීමේ කටයුත්ත සඳහා දේශපාලන බලවේග සම්බන්ධ කරගැනීමට එරෙහිව සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පළ කර සිටියි.