two-arrested-with-a-coral-reef-and-a-tiger-tooth

කිරිබත්ගොඩ සහ රාගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී කිලෝග්‍රෑම් 32ක් බරැති කොරල් පරයක් සහ ව්‍යාඝ්‍ර දතක් ඇතුළු ආරක්ෂිත සත්ව කොටස් රැසක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් රිටිගල තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය වෙත ලබාදීමෙන් අනතුරුව, පසුගිය ජූලි 3 වනදා මෙම සාර්ථක වැටලීම් මාලාව දියත් කර ඇත.




මෙම වැටලීම්වලදී වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත් ආරක්ෂිත සත්ව කොටස් අතර කිලෝග්‍රෑම් 32ක කොරල් පරයට අමතරව, දුර්ලභ ගණයේ බෙල්ලන් විශේෂ වන ශ්‍රී ලංකා හෝන්ඩ් හෙල්මට් බෙල්ලෙකු (Catadontus marianus), යක්ෂ බෙල්ලෙකු (Spider conch), ව්‍යාඝ්‍ර දතක් සහ තවත් සාගර ජීවියෙකුගේ ශරීර කොටසක් ද අතුළත් වේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන තරුණයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් 100,000 බැගින් වූ වනජීවී ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර, ඉදිරි දිනයකදී ඔවුන් මහර සහ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතට අනුව කොරල්පර සහ අනෙකුත් ආරක්ෂිත වනජීවී කොටස් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම හෝ ඒවායේ වෙළඳාම් කිරීම සපුරා තහනම් වන අතර, එවැනි වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට දැඩි නීතිමය දඬුවම් පැනවිය හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.