අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මාලදිවයිනේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 23 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා (04) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිසිය පවසයි.
ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, 2026 පෙබරවාරි 13 වනදා තලංගම පොලිස් බලප්‍රදේශයට අයත් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍ය කර සිටි අයෙකි. මොහු මෙරටට පැමිණෙන අවස්ථාවේදී පහසුවෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුගේ තොරතුරු ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියට (Automated Facial Recognition System) ඇතුළත් කර තිබූ බව ද පොලිස් වාර්තා සඳහන් කරයි.
මෙම සැකකරු මීට පෙරද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බව හෙළිවී තිබේ. ඒ අනුව 2025 ඔක්තෝබර් මාසයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය විසිනුත්, 2025 දෙසැම්බර් මාසයේදී හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විසිනුත් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම අවස්ථා දෙකේදීම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ නියම කර තිබුණි. මෙම ද්විත්ව ඝාතන සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මගින් තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.