it-is-revealed-that-the-cause-of-the-negombo-prison-riot-was-room-party

බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සෙසු නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, එහි පාලන කටයුතුවලට සහාය වන "කාමර පාටි" ලෙස හැඳින්වෙන රැඳවියන් විසින් දිගින් දිගටම නිලධාරීන්ට තොරතුරු සැපයීම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට මූලික හේතුව වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.




මීගමුව මූලස්ථාන පොලිසිය විසින් මේ පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර, පසුව පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 වෙත පවරනු ලැබීය. ඒ අනුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන PC/16655/26 දරන නඩුවට අදාළව කරුණු වාර්තා කරමින් එම අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.වී.ඒ.එස්. කරුණාතිලක මහතා විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත. මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට මීගමුව බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳිමින් සිටි රැඳවියන් 162 දෙනකු සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 2,255 දෙනකු රඳවා සිට ඇති අතර, එම පිරිස අතරට පිරිමි රැඳවියන් 2,251ක් සහ කාන්තා රැඳවියන් 166ක් ඇතුළත් වී තිබේ. එසේම මෙම කලහකාරී තත්ත්වය හටගත් පසුගිය ජූලි මස 05 වැනිදා වන විට එහි බන්ධනාගාර අධිකාරීවරයකු, ප්‍රධාන ජේලර්වරයකු, ජේලර්වරුන් 13 දෙනකු සහ බන්ධනාගාර නියාමක නිලධාරීන් 151 දෙනකු සේවයේ නිරතව සිට ඇත.

මෙම ගැටුම්කාරී වාතාවරණය නිර්මාණය වීමට මුල් වූ සිදුවීම පසුගිය ජූලි මස 03 වැනිදා වාර්තා වී ඇති අතර, එහිදී විශේෂ ගණයේ රැඳවියන් රඳවන ඒ 1 වාට්ටුවේ අංක 4423 යටතේ සිටි කුරුප්පු ආරච්චිගේ සුරේෂ් පුෂ්පකුමාර හෙවත් කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා සාමාන්‍ය පරිදි ව්‍යායාම සඳහා පිටතට ගෙන තිබේ. මෙවැනි විශේෂ ගණයේ රැඳවියන්ට දිනකට ව්‍යායාම කිරීම සඳහා විනාඩි 30ක කාලයක් හිමි වුවද, එදින මෙම රැඳවියා ව්‍යායාම සඳහා වැඩි වේලාවක් ගත කරමින් සිරමැදිරියට පැමිණීම ප්‍රමාද කර ඇත. මේ හේතුවෙන් එම වාට්ටුවේ අධීක්ෂණ කටයුතු භාරව සිටි ආධුනික නියාමක මහේෂ් දිල්ෂාන් කරුණාරත්න මහතා විසින් ඔහුට අවවාද කර ඇති අතර, එහිදී කටුවැල්ලේගම සුරේෂ් විසින් එම නිලධාරියා වෙත ව්‍යංගයෙන් මරණ තර්ජනයක් එල්ල කර ඇති බවට බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.




එම ලිඛිත පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ බන්ධනාගාර විනය අංශයේ නිලධාරීන් විසින් පසුගිය ජූලි 04 වැනිදා මෙම සැකකරු එල් වාට්ටුවේ පිටත සිරමැදිරියක රඳවනු ලැබූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙම සිරමැදිරි මාරු කිරීමට එරෙහිව සුරේෂ් දැඩි විරෝධයක් පළ කර ඇති බවයි. ඔහුගේ විරෝධය උත්සන්න වීම හේතුවෙන් 05 වැනිදා උදෑසන ඔහුව නැවතත් පෙර සිටි වාට්ටුව වෙතම මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, එදින දිවා ආහාරය ලබාදෙන අවස්ථාවේදී කටුවැල්ලේගම සුරේෂ් ප්‍රමුඛ පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාර පාලනයට සහාය වන "කාමර පාටි" රැඳවියන්ට පහරදීම ආරම්භ කර තිබේ. එහිදී තවත් රැඳවියන් පිරිසක් වාට්ටු කිහිපයක ඉබි යතුරු කඩා දැමීමට කටයුතු කිරීමත් සමඟ මුළු බන්ධනාගාරය පුරාම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

මෙහිදී කලහකාරී රැඳවියන් විසින්, පහරදීමට ලක්වූ කාමර පාටි රැඳවියන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට වාර්තා කර ඇත්තේ මෙම පිරිස බන්ධනාගාර රෝහලට සහ එහි පාලන පරිශ්‍රයට පහර දී බරපතළ ලෙස අලාභහානි සිදු කර ඇති බවයි. ඉන් නොනැවතුණු රැඳවියන් බන්ධනාගාර රෝහලේ ඖෂධහල කඩා, එහි තිබූ මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පැහැරගෙන ඒවා රැඳවියන් අතර බෙදා හැර ඇති අතර ඉන් කොටසක් කාන්තා රැඳවියන් වෙත ද ලබා දී ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ. මෙම උණුසුම් තත්ත්වය හමුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් නිලධාරීන් කලහකාරී රැඳවියන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉන් අනතුරුව පිරිසක් නැවත වාට්ටු වෙත ගියද තවත් රැඳවියන් පිරිසක් මධ්‍යම රාත්‍රිය වන තෙක් බන්ධනාගාර වහලය මත රැඳී සිට ඇත.



මේ අතරතුර, බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස එදින රාත්‍රියේ මීගමුව බන්ධනාගාරයේ අවි ගබඩාවෙන් දෛනික රාජකාරි සඳහා නිකුත් කරන අවි ආයුධ සහ සියලුම උණ්ඩ එතැනින් ඉවත් කර, ජේලර්වරුන්ගේ විවේකාගාරයේ කාමරයක තාවකාලිකව තැන්පත් කිරීමට පියවර ගෙන තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ. එසේ වුවද දෛනික රාජකාරි සඳහා භාවිත නොකරන ස්වයංක්‍රීය ගිනි අවි 10ක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවි 22ක් අවි ගබඩාවේ කොටසක ඉබි යතුරු දමා සුරක්ෂිතව තිබූ බවට සාක්ෂි සහිතව අනාවරණය වී ඇත. මෙම කලහකාරී සිදුවීම හේතුවෙන් රැඳවියන් දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා සිටි අතර, ඒ පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට මීගමුව කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පැමිණියද පැවති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වී තිබේ. පසුව තත්ත්වය මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහකාර බන්ධනාගාර අධිකාරි රාජකරුණානායක මහතා ඇතුළු ජේලර්වරුන් දෙදෙනකු සහ නිලධාරීන් 89 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද, මීගමුව පොලිසියේ කැරලි මර්දන බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමක් ද බන්ධනාගාර පරිශ්‍රය වෙත කැඳවීමට කටයුතු කෙරිණි.

පසුගිය 05 වැනිදා රාත්‍රියේ සිට 06 වැනිදා අලුයම වන තෙක් කටුවැල්ලේ සුරේෂ් ඇතුළු පිරිසක් වාට්ටු තුළට නොගොස් එළිමහනේ රැඳී සිට ඇති අතර, එහිදී සුරේෂ් විසින් සිය සමීපතමයන් දෙදෙනකු වෙත රහසිගත පණිවුඩයක් ලබා දීමෙන් පසු පිරිසක් 07 වැනි වාට්ටුවේ ස්ලැබ් එක මතට නැඟ "තොපි වෙනුවෙන් තමයි ඔක්කොම කරන්නේ" යනුවෙන් කෑගසා තිබේ. සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ උදෑසන ආහාරය පෙරවරු 6.00 ත් 6.45 ත් අතර කාලයේදී ලබා දුන්නද, පෙරදින ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් 06 වැනිදා උදෑසන ආහාරය ලබා දී ඇත්තේ පෙරවරු 9.30 ට පමණ වේ. මෙසේ ආහාර බෙදාහරිමින් සිටි අවස්ථාවේදී අංක 5 වාට්ටුවේ රැඳවියන් දෙදෙනකු අතර ගැටුමක් හටගෙන ඇති අතර, එහි සිටි රැඳවියන් කිහිපදෙනකු ආහාර බෙදමින් සිටි බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ එහි රැඳී නොසිට වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි. එම අනතුරු ඇඟවීමෙන් පසු ඉතා කෙටි වේලාවකදී සියලුම වාට්ටුවලින් පිටතට පැමිණි රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් තෝරාගත් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ට දරුණු ලෙස පහරදීමට පටන් ගෙන ඇත. මෙම ප්‍රහාරවලින් බේරීම සඳහා බන්ධනාගාරයේ දැල් දොර දෙසට දිවගිය නිලධාරීන්ට ද රැඳවියන් පිරිසක් විසින් දැල් දොර අසලදී පහර දී තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය තුළට ඇතුළු වූ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් පිරිසක් රැඳවියන් මැද කොටු වී ඇති අතර, ඔවුන් බේරීම සඳහා සැඟවීමට උත්සාහ කළද කලහකාරී රැඳවියන් ඔවුන් පසුපස හඹා ගොස් අමානුෂික ලෙස පහර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවල සඳහන් වේ. බන්ධනාගාරයේ අභ්‍යන්තර පාලනය සම්පූර්ණයෙන්ම රැඳවියන් අතට පත්වීමෙන් පසු තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කඳුළු ගෑස් උණ්ඩ 06ක් එල්ල කර ඇති අතර, ඉන් අනතුරුව බන්ධනාගාර අධිකාරීවරයාගේ නියෝගය පරිදි නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇත. එසේ වුවද තත්ත්වය පාලනය නොවීම හේතුවෙන් ප්‍රධාන දොරටුව අසල සිටි බන්ධනාගාර නිලධාරියකු ඉදිරි දොරේ පිහිටි කුඩා කවුළුව තුළින් බන්ධනාගාරය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරමින් තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමට අදාළ විමර්ශන තොරතුරු ඇතුළත් තවත් පුළුල් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.