water-bill-hiked-by-boards-inefficiency---audit-report-reveals

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පවතින මෙහෙයුම් අකාර්යක්ෂමතාවය, දීර්ඝ කාලීන ව්‍යාපෘති ප්‍රමාදයන් සහ දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සිදුව ඇති අලාභයන්, ජල ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දැමීම මඟින් පාරිභෝගිකයන් මත පටවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් හෙළි වේ. විගණකාධිපති එල්.එස්.අයි.

ජයරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව, මණ්ඩලයේම පවතින විවිධ දුර්වලතාවල පිරිවැය පියවා ගැනීමට මෙරට පොදු මහජනතාවට සෘජුවම සිදුව ඇත.




පාරිභෝගිකයන් වෙත බිල්පත් නිකුත් කර ආදායම් ලබා ගැනීමට පෙර ජල කාන්දුවීම්, නීතිවිරෝධී ජල සම්බන්ධතා සහ මීටර් දෝෂ වැනි හේතු නිසා අපතේ යන "ආදායම් නොලබන ජලය" (Non-revenue water) මෙම අමතර මූල්‍ය බර පැටවීමට ප්‍රධානතම හේතුවක් වී තිබේ. පාලනය කළ යුතු ප්‍රශස්ත මට්ටම සියයට 15ක් වුවද, 2023 වසර වන විට මණ්ඩලයේ ආදායම් නොලබන ජල ප්‍රතිශතය සියයට 28ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, එම වසරේදී පමණක් ඉන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 11.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙහි ඉහළම අලාභ අනුපාතය මහනුවර උතුර ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය සියයට 38.72කි. මෙම ගැටලුව කළමනාකරණය කිරීමට ජලසම්පාදන මණ්ඩලය නිසි පියවර ගෙන නොමැති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මූල්‍ය අලාභය අධික ජල ගාස්තු හරහා ගෙවන පාරිභෝගිකයන් වෙත මාරු කර තිබේ.

විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ යටිතල පහසුකම් ව්‍යාපෘති 19ක් වසර එකහමාරක සිට වසර හතක් දක්වා කාලයකින් ප්‍රමාද වී ඇති බව විගණනයේදී අනාවරණය වී තිබේ. ඉන් ව්‍යාපෘති පහක් පමණක් ප්‍රමාද වීම හේතුවෙන් නියමිත කාලසටහනට අනුව නව ජල සම්බන්ධතා ලබා දීමට නොහැකි වීමෙන් මණ්ඩලයට අහිමි වූ ආදායම රුපියල් මිලියන 870.52කි. මීට අමතරව, එකඟ වූ කාලසීමාවන් තුළ ණය මුදල් උපයෝගී කර ගැනීමට මණ්ඩලය අපොහොසත් වීම නිසා විදේශීය ණය දෙන්නන්ට රුපියල් බිලියන 2.25ක කැපවීමේ ගාස්තු (Commitment fees) ගෙවීමට රජයට සිදුව ඇති අතර, එම බරපතළ පිරිවැයද අවසානයේ පාරිභෝගික ජල ගාස්තු ව්‍යුහය තුළින්ම පියවා ගැනීමට කටයුතු කර ඇත.




ජලසම්පාදන මණ්ඩලයේ සමස්ත මෙහෙයුම් වියදම්වලින් සියයට 36ක්ම වෙන් වන්නේ සේවක පිරිවැය සඳහාය. 2018 සහ 2022 වසර අතර කාලය තුළ වැඩි වශයෙන් මෙහෙයුම් අලාභ ලබා තිබියදීත්, මණ්ඩලය විසින් 2023 වර්ෂයේදී බෝනස් සහ දිරිදීමනා වශයෙන් රුපියල් මිලියන 894ක මුදලක් ගෙවා තිබේ. එමෙන්ම, 2019 සහ 2023 කාලය තුළ ස්ථිර සේවක සංඛ්‍යාව අඩු වුවද, එක් සේවකයෙකු වෙනුවෙන් වැය වන පිරිවැය සියයට 26.67කින් ඉහළ ගොස් ඇත. මේ අතර, ජලසම්පාදන අමාත්‍යාංශය වෙත මුදාහැර සිටින නමුත් තවමත් මණ්ඩලයේ වැටුප් ලේඛනය යටතේ වැටුප් ලබන සේවකයන් 15 දෙනෙකු වෙනුවෙන් අමාත්‍යාංශය විසින් මණ්ඩලයට රුපියල් මිලියන 263.33ක මුදලක් ගෙවීමට පැහැර හැර තිබේ.

මෙවැනි පසුබිමක, 2022 සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු සියයට 70කින් ඉහළ දැමූ අතර, 2023 අගෝස්තු මාසයේදී එය නැවත සංශෝධනය කෙරිණි. මේ හේතුවෙන් 2012 වසරේ පැවති අනුපාතයන්ට සාපේක්ෂව සමස්ත ගාස්තුව සියයට 100කට ආසන්න අගයකින් වැඩි විය. මෙහිදී මසකට ඒකක 6ත් 15ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන, මෙරට විශාලතම පාරිභෝගික කාණ්ඩය වන සාමාන්‍ය නිවාසවල ජල බිල්පත් 2012 වසරේ මට්ටමට වඩා සියයට 310ත් 319ත් අතර ඉහළ අගයකින් වැඩි වී ඇත. එමෙන්ම 2023 සංශෝධනයෙන් පසුව අධ්‍යාපන ආයතනවල සාමාන්‍ය මාසික බිල්පත් සියයට 275ක සිට සියයට 21,454ක් දක්වා අතිදැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.



විදුලි මිල පහත වැටීමට සමගාමීව 2024 අගෝස්තු මාසයේදී සියයට 5ක ජල ගාස්තු අඩු කිරීමක් සිදු කළද, එයින් පාරිභෝගිකයාට ලැබී ඇත්තේ ඉතා නොගිනිය හැකි සහනයක් බව විගණන වාර්තාව පෙන්වා දෙයි. 2023 දෙසැම්බර් මාසයේදී රුපියල් 2,303ක් වූ සාමාන්‍ය මාසික ජල බිල්පත 2024 දෙසැම්බර් වන විට රුපියල් 2,284ක් දක්වා අඩු වී ඇත්තේ රුපියල් 19ක සුළු මුදලකිනි. එම සහනයෙන් පසුවද ජල බිල්පත් 2023 ජනවාරි මාසයට වඩා සියයට 52කට වඩා ඉහළ මට්ටමක පවතී. තවද ආගමික ස්ථාන, වාණිජ පාරිභෝගිකයන්, තොග ජල සැපයුම් සහ පොදු නල ළිං ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට 2024 වසරේදී කිසිදු ගාස්තු අඩු කිරීමක් හිමි වී නැත.

2023 වසරේ අවසානය වන විට මෙරට සමස්ත ජනගහනයෙන් නල ජල පහසුකම් ලබා දී තිබුණේ සියයට 48.1කට පමණි. 2025 වසර වන විට එය සියයට 79 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ "සැමට ජලය" වැඩසටහනේ ප්‍රගතිය ඉතා මන්දගාමී මට්ටමක පවතින බව විගණනයේදී සටහන් කර ඇත. ජල නිෂ්පාදන පිරිවැයෙන් සියයට 22ක්ම වැය වන්නේ බලශක්තිය සඳහා වුවද, අඹතලේ ජල පිරිපහදුව නවීකරණය කිරීම සහ රුපියල් මිලියන 153ක සූර්ය බලශක්ති ආයෝජන ව්‍යාපෘතිය ඇතුළු සැලසුම් කළ බලශක්ති කාර්යක්ෂමතා ව්‍යාපෘති කිහිපයක්ම අතරමඟ නතර කර දමා තිබේ.

ව්‍යාපෘති ප්‍රමාදයන්, කළමනාකරණ දුර්වලතා සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාවලින් සිදුවන පාඩුව තවදුරටත් පාරිභෝගිකයන් මත නොපටවන ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත. වසර 49ක් තිස්සේ මණ්ඩලය විධිමත් ජල ගාස්තු ප්‍රතිපත්තියක් නොමැතිව කටයුතු කර ඇති බැවින්, ඉදිරි ගාස්තු සංශෝධන 2024 හඳුන්වා දුන් සූත්‍රයට අනුව විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බවත්, ආදායම් නොලබන ජලය අවම කිරීමට සහ ජලය අපතේ යන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් එහි සඳහන් වේ. එමෙන්ම සේවක බෝනස් දීමනා ඉලක්කගත කාර්යසාධනය මත පදනම් විය යුතු බවද නිර්දේශ කර ඇත. මේ සම්බන්ධයෙන් ජලසම්පාදන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් වර්තා කරන අවස්ථාව වන විට අසාර්ථක වී තිබුණද, පසුව 'ද සන්ඩේ මෝනින්' පුවත්පත වෙත අදහස් දක්වමින් ජලසම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ජල ගාස්තු සූත්‍රයක් සහ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.