මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව දින කිහිපයකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබුණ ද, ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වත්මන් පාලනයට නිසි නායකත්වයක්, කළමනාකාරිත්වයක් හෝ මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්ට මුහුණ දීමේ පූර්ව අත්දැකීමක් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා, රට මුහුණ දී සිටින සමස්ත පාලන දුර්වලතාවය මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් මනාව පැහැදිලි වන බව පෙන්වා දුන්නේය.
මෙම පරිපාලනමය අකාර්යක්ෂමතාව සහ දුර්වල කළමනාකරණය මීට පෙර මෙරට ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද අත්විඳ ඇති බවත්, මීගමුව බන්ධනාගාරයේ සිදුවීම එක රැයකින් සිදු වූවක් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. සිද්ධිය වීමට දින තුන හතරකට පෙර ඒ පිළිබඳ බුද්ධි අංශ මගින් රජය දැනුවත් කර තිබියදීත්, වගකිවයුත්තන් ඒ සම්බන්ධයෙන් නිසි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් මෙම බරපතළ තත්ත්වය උද්ගත වූ බව හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම පිළිබඳව පුළුල් හා විධිමත් විමර්ශනයක් පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පසුගිය 06 වනදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, සිද්ධියට තුඩුදුන් හේතු සෙවීම, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සහ මෙවැනි සිදුවීම් අනාගතයේදී යළි ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ජනාධිපති ලේකම්වරයා විසින් මෙම විශේෂ විමර්ශන කමිටුව පත් කිරීමට නියමිත බවයි. මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා නම් කර තිබේ.
අදාළ කමිටුව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වන සියලු කරුණු මනාව අධ්‍යයනය කර, තම නිර්දේශ සහිත අවසන් වාර්තාව රජයට භාරදීමට නියමිතව ඇත. මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීමට අදාළ වහාම ක්‍රියාත්මක වන පරිදි කෙරෙන විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබේ.